සහල් අසුරනවල සගවා නීතිවිරෝධී ගිනිඅවි සහ ජීව උණ්ඩ විශාල ප්‍රමාණයක් පොළොන්නරුවේ සිට ප්‍රවාහනය කර කොළඹ සහ දකුණු පළාතේ පාතාල කණ්ඩායම් වෙත ලබාදුන් බව කියන පාතාල සාමාජිකයන් තිදෙනෙක් ඊයේ 12 අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි .
එම සැකකරුවන් සමග ලැප්ටොප් පරිගණක තුනක් ජංගම දුරකථන හයක් පොලිස් භාරයට ගෙන ඇත .
අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් සංවිධානාත්මක අපරාධ කරුවෙක් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන "කැලුම් ඉන්දික නොහොත් කැවුමා" නැමැත්තාගේ ගෝලබාලයන් බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
පොලිස් විශේෂ කාර්ය බලකාය සංවිධාන අපරාධ මර්දන ඒකක 2 නිලධාරීන් කණ්ඩායමක් මෙම සැකකරුවන් කඩුවෙල තිස්සමහාරාමය සහ නුගේගොඩ ප්‍රදේශවල දී අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරියෙක් පැවැසීය .
2018 වසරේ මැද භාගයේ පොළොන්නරුවේ ප්‍රදේශයේ සිට අවස්ථා කීපයකදී ඉතා සූක්ෂම ලෙස සහල් අසුරනවල ගිනිඅවි සහ ජීවඋණ්ඩ විශාල ප්‍රමාණයක් සඟවා ලොරි රථවලින් කොළඹට ප්‍රවාහනය කර තිබුණේ "කැවුමා "නැමැති සංවිධානාත්මක අපරාධකරුගේ උපදෙස් මත බව මූලික විමර්ශනවලදී අනාවරණ වූ බව පොලිසිය කියයි.
කොළඹ හා දකුණු පළාතේ පාතාල කණ්ඩායම් වෙත ලබාදීම සඳහා තාක්ෂණික වශයෙන් සහය ලබා දීම ,මෙම ලොරි රථ සඳහා වෙනත් වාහන වලින් ආරක්ෂාව සැපයීම ,එම ලොරි රථවලින් ගිනිඅවි ප්‍රවාහනය කිරීම හා එසේ රැගෙන යනු ලබන ගිනිඅවි හෝමාගම ප්‍රදේශයේ නිවසක සැඟවීම සඳහා සහාය වීම සම්බන්ධයෙන් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි
අත්අඩංගුවට ගත් එම සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දුන් බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය
පොලිස් විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකක 2 නිලධාරින් පරික්ෂණ පවත්වයි