ගංජා වගා කිරීම තුළින් රටට ආදායමක් ලැබෙන බවට සමාජය තුළ කතාබහක් ඇති වී තිබෙන නිසා ඒ පිළිබඳ සොයා බැලීමට හා පවතින නීතිමය තත්ත්වය සොයා බැලීමට කමිටුවක් පත් කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
විශේෂඥ වෛද්‍ය තනුජ මහේෂ් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව පත් කළ බවත්, කමිටුව විසින් ලංකාවේ නීතිරීති හා ලෝකයේ තත්ත්වය පිළිබඳ හා ලංකාව තුළ සිදුවන කතාබහ පිළිබඳ සොයා බලා සති දෙකක් තුළ තම සංගමයට වාර්තාවක් ලබාදීමට නියමිතව තිබෙන බවත් එම සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.
බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව ගංජා දුම්පානය කිරීම ස්නායු අඩපණ කිරීමට බලපාන බවත්, එහෙත් අයුර්වේද වෛද්‍ය ක්‍රමය යටතේ එය ඖෂධයක් ලෙස භාවිත කරන බවත් හෙතෙම පවසා සිටියේය.
අයුර්වේදයේ ඖෂධයක් ලෙස ගංජා භාවිත කරන නිසා ඒ සඳහා අවශ්‍ය ප්‍රමාණයට වගා කිරීමට අවසර ලබාදුන්නද, ගංජා වගා කිරීම රට තුළ තහනම් කර තිබෙන බවත්, එහෙත් ලෝකයේ ඇතැම් රටවල් ගංජා වගා කිරීමට අවස්ථාව ලබාදී තිබෙන බවත් හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කළේය.
රටට ආදායමක් ලබාගැනීමට ගංජා වගා කළ යුතු බවට රට තුළ කතාබහක් ඇති වී තිබෙන නිසා පත් කළ කමිටුවට ජනතා අදහස් ලබාගැනීම සඳහා අද (07දා) දින දුරකථන අංකයක් ප්‍රකාශයට පත් කිරීම සැලසුම් කර තිබෙන බවද ඒ මහතා අවධාරණය කර සිටියේය.
මේ පිළිබඳ සාකච්ඡා කර තීරණයක් ගැනීමට අද දින තම සංගමයේ විධායක සභාවට රැස්වන බවත්, එහිදී දුරකථන අංකය පිළිබඳ තීරණයක් ගන්නා බවත් හරිත අලුත්ගේ මහතා වැඩිදුරටත් පැවසීය.