කෙරවලපිටිය කසල අංගනයේ කාබනික පොහොර නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීමට තීරණය කර තිබෙනවා.
රජය විසින් ගන්නා ලද කාබනික පොහොර භාවිතා කිරීමේ ප්‍රතිපත්තිමය තීරණයට ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව සුබවාදී ආරම්භයක් ලබාදෙමින් මෙතෙක් දිනකට කැළි කසලවලින් නිෂ්පාදනය කළ මෙට්‍රික් ටොන් 15 ක්වූ ජෛව කාබනික කොම්පෝස්ට් ප්‍රමාණය, දිනකට මෙට්‍රික් ටොන් 50 ක් දක්වා ඉහළ නැංවීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි වෙරළ සංරක්ෂණ හා පහත් බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය, නීතීඥ මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා, නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා යන මහත්වරුන්ගේ අධික්ෂණයෙන් ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව, මෙසේ නිෂ්පාදනය කරනු ලබන්නේ රුපියල් මිලියන 550 ක ආයෝජන වියදමක් දරමින් ආරම්භ කළ කෙරවලපිටිය කසල අංගනය හෙවත් කසළවලින් නිපදවනු ලබන පස සරුකිරීමේ ජෛව ගුණැති කාබනික අමුද්‍රව්‍ය පොහොර වර්ගයයි.
මීතොටමුල්ල කසළ කන්ද කඩා වැටීමෙන් පසු 2017 වසරේ අප්‍රේල් මාසයේ අරඹන ලද කෙරවලපිටිය කසල අංගන ව්‍යාපෘතිය, තවත් රුපියල් මිලියන 850 ක් ආයොජනය කරමින් ඉදිරි කාලයේදී වැඩිදියුණු කිරීමට ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මේ වන විට කටයුතු කරමින් සිටියි.
රජයේ ප්‍රතිපත්තිමය තීරණය අනුව යමින්, දැනටමත් රසායනික පොහොර නිෂ්පාදනයේ යෙදී සිටින කොමර්ෂල් පොහොර සමාගම ද, ජෛව කාබනික පොහොර සැකසීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ. එම වැඩපිළිවෙළට අනුව, කෙරවලපිටිය කසළ අංගනයෙන් ජෛව කොම්පෝස්ට් මෙට්‍රික් ටොන් 4,000 ක්, කොමර්ෂල් පොහොර සමාගම ඇනවුම් කර ඇති අතර, එම ඇනවුම ලබා දීම සඳහා කෙරවලපිටිය කසළ අංගනය මේ වන විට කඩිනමින් කටයුතු කරමින් සිටි.