කිරිපිටි ආනයනය වහාම නවත්වා දේශීය කිරිපිටිවලින් රට ස්වයංපෝෂිත කිරීමට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා සඳහන් කළේය. අද (08දා) පෙරවරුවේදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
"බුද්ධික පතිරණ නියෝජ්‍ය ඇමැතිවරයා විදේශිය කිරිපිටි වල මෙලමයින් හා සත්ව කොටස් කළවම් කරලා මුදා හරින බව හෙළි කළා. මේ ප්‍රකාශය එක්ක පාර්ලිමේන්තුව එක තැනකට ආවා. එදා මෙවැනිම තත්ත්වයක් ඇති වුණාම පැවැති ආණ්ඩුවට අභියෝගයක් එල්ල වුණා. වෛද්‍යවරු මහාචාර්යවරු මේ ගැන අනාවරණය කරමින් එළියට ආවා. ආණ්ඩු වෙනසත් එක්ක ඒ අනාවරණය නැවතුණා.
අපේ ජනතාව කුඩා දරුවන් මේ කිරිපිටි පානය කරලා තියෙන්නේ. ඒ තුළ මොනතරම් ලොඩ රෝග ආබාධ මතුවුනාද කියලා ගණනය කරලා නැහැ. බුද්ධික පතිරණ මහතා මොන දේශපාලන මතය දැරුවත් ඒකරපු අනාවරණය සම්බන්ධයෙන් අපි ස්තූතිවන්ත වෙනවා.
හැබැයි රාජිත උන්නැහේ ඇවිත් කියන්නේ එහෙම වෙන්න බැහැ කියලයි. බුද්ධික පතිරණ ඇමැතිවරයාගේ අමාත්‍යංශයේ කටයුත්තක් තමයි මෙවැනි දේ පරීක්ෂා කිරීම.
රාජිත ගේ මොනවාද අගයන්න තියෙන්නේ. බැලුවොත් තියෙන්නේ චෝදනා. බුද්ධිකට එවැනි චෝදනා නැහැ. රාජිත ගේ කතාව නිකම්ම නිකම් කට කැඩුනු කතාවක් විතරයි. හැබැයි බුද්ධිකගේ කතාව සොයා බැලිය යුතු කතාවක්. කතිකාවක් ඇති විය යුතුයි.
ජනාධිපතිවරයා වහාම මේ කිරිපිටි ආනයනය කරන වැඩපිළිවෙල නතර කරලා දේශිය කිරිපිටිවලින් රට ස්වයංපෝෂිත කළ යුතුයි. බහුජාතික සමාගම්වල ඔඩොක්කුවෙ ලගින රාජිතලාට ජනතාව ගැන ආදරයක් නැහැ. ගර්භනි මාතාව ගැන කුඩා දරැවා ගැන රටේ පරපුර ගැන මේ අයට ආදරයක් නැහැ.
අපි කොන්දේසි විරහිතව බුද්ධික වෙනුවෙන් පෙනී සිටිනවා.ජනතාවට වහ පෙවීම නවත්වා ගන්න අපි පෙනී සිටිනවා."