කුරුණෑගල පෞරාණික රාජ්ය සභා මණ්ඩපය කඩා විනාශ කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව ඇතුළු පස්දෙනෙකු විසින් ගොනු කළ රිට් පෙත්සම් ලබන නොවැම්බර් මස 12 වනදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද දින ලබා දුන්නේය.
ඒ, අදාළ පෙත්සම් අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු දිලීප් නවාස් සහ විනිසුරු සෝභිත රාජකරුණා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.
නීතිපතිවරයා ඇතුළු වග උත්තරකරුවන්ට පෙත්සමට අදාළ විරෝධතා නොවැම්බර් මස 12 වනදා ගොනු කරන ලෙසයි විනිසුරු මඩුල්ල එහිදී නියෝග කර ඇත්තේ.
සිද්ධියට අදාළව කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව ඇතුළු පස්දෙනෙකුට එරෙහිව නිකුත් කර ඇති වරෙන්තු ක්රියාත්මක වීම අත්හිටුවමින් අභියාචනාධිකරණය පසුගිය අගොස්තු මස 15 වනදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
එම අතුරු තහනම් නියෝගය නිකුත් කර ඇත්තේ අදාළ පෙත්සම් විභාගය අවසන් වන තෙක් බලපැවැත්වෙන පරිදියි.