සතිඅන්ත දිනවල උපකාරක පන්ති වලට සහභාගි වන බව නිවෙස් වලට දන්වා කුරුණෑගල නගරයට පැමිණ පන්ති වලට සහභාගි නොවී නිකරුණේ කාලය ගත කරමින් සිටි පාසල් සිසුන් හැටපස් දෙනෙකු පොලිස් භාරයට ගෙන ඔවුන්ගේ දෙමාපියන්ට භාර දීමට පියවර ගත් බව කුරුණෑගල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.
කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අනිල් ප්‍රියන්ත මහතාගේ උපදෙස් අනුව කුරුණෑගල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ක්‍රිශාන්ත මහතාගේ මෙහෙයවීමෙන් කුරුණෑගල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් තිස් දෙනෙකු සහ බුද්ධි අංශ නිලධාරීන් යොදවා ඊයේ (13දා) මෙම මෙහෙයුම කුරුණෑගල නගරයේදී සිදු කරනු ලැබීය.
කුරුණෑගල ප්‍රධාන බස් නැවතුම්පොළ හා ඒ ආශ්රිත නාගරික වෙළඳ සංකීර්ණය, කුරුණෑගල වැව රවුම, නාගරික උද්‍යානය, ඔරලෝසු කණුව අසළ උමං මාර්ග පද්ධතිය සහ නගරයේ පිහිටි පෞද්ගලික උපකාරක පන්ති ආශ්‍රිතව සිදු කළ සෝදිසියකින් පසුව මෙම සිසුන් පිරිස පොලිස් භාරයට ගෙන තිබේ.
මෙසේ පොලිස් භාරයට ගත් සිසුන් සියළුම දෙනා කුරුණෑගල මූලස්ථාන පොලීසිය වෙත රැගෙනවිත් ඔවුන්ගේ දෙමාපියන් ඇතුළු පවුලේ වගකිවයුතු සාමාජිකයයෙකු ගෙන්වා භාර දීමට පොලීසිය පියවර ගෙන තිබුණි.