කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (14දා) පැවති කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම වාර්තා කිරීම මාධ්‍යවේදීන්ට තහනම් කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අප්‍රසාදය පළ කළේය.
කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමක් මාධ්‍යවේදීන්ට තහනම් කළ ප්‍රථම අවස්ථාව මෙය විය. මීට පෙර පවත්වන ලද සෑම කමිටු රැස්වීමක් සඳහාම සහභාගි වන ලෙසට දිස්ත්‍රික් ලේකම්වරයා විසින් මාධ්‍යවේදීන්ට ලිඛිතව සහ දුරකථන ඇමතුම් මඟින් ආරාධනා කරනු ලැබීය.
නමුත් මෙවර නව රජයක් පත් වීමෙන් පසුව පවත්වන ලද ප්‍රථම සම්බන්ධීකරණ කමිටු රැස්වීම මාධ්‍යවේදීන්ට තහනම් කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් දැඩි විරෝධය සහ අප්‍රසාදය පළ කරන කුරුණෑගල මාධ්‍යවේදීන් මෙම තහනම ජනතාවට තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය අහුරා දැමීමක් වන බවට චෝදනා කරති.
කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ නව සම සභාපතිවරුන් වන කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණපාල රත්නසේකර සහ වයඹ නව ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ අතර , එම රැස්වීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නියෝජනය කරමින් මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, බතික් සහ අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහත්වරු ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කීප දෙනෙකුද සහභාගි වූහ.
ප්‍රථම කමිටු රැස්වීමට මාධ්‍යවේදීන් සහභාගි කර නොගන්නා ලෙසට කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණපාල රත්නසේකර මහතා විසින් කරන ලද දැනුම් දීමකට අනුව මෙම රැස්වීම මාධ්‍යවේදීන්ට තහනම් කළ බව කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් ආර්.එම්.ආර්.රත්නායක මහතා විසින් දන්වා සිටි බව කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්රවෘත්ති අංශයේ නිලධාරිනියක සඳහන් කළාය.
මාධ්‍යවේදීන් හට කමිටු රැස්වීම පැවති ශාලා පරිශ්‍රය දෙසට ඇතුළුවීම පවා තහනම් කර තිබුණි.