කාබනික පොහොර වලට යොමුවීමට රජය ගත් ප්‍රතිපත්තිමය තීන්දුවේ කිසිදු වෙනසක් නොමැති බවත් රජය යළිත් රසායනික පොහොර ආනයනය කිරීමට තීරණය කළ බවට සමාජ මාධ්‍ය වල ගෙනයන ප්‍රචාරවල කිසිදු සත්‍යතාවක් නොමැති බවත් කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ සඳහන් කළේය.
මහනුවරදී (10) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව පැවසීය.
රසායනික පොහොර වෙනුවෙන් ඇතැමුන් පෙනී සිටින්නේ එම සමාගම් වලින් ලබාදෙන මුදල් නිසා බවත් ඇතැම් මාධ්‍ය තුළත් මෙය දක්නට ලැබෙන බවත් ඒ මහතා කීවේය.
එහිදී කෘෂිකර්ම ඇමැතිවරයා තවදුරටත් අදහස් දක්වමින් මෙසේද පැවසුවේය.
එළඹෙන මහ කන්නයේ සිට කාබනික කෘෂිකර්මාන්තයේ තමයි අපි නියැලෙන්නේ. කිසිසේත් රසායනික පොහොර ආනයනයකට අපි යන්නේ නැහැ. කාබනික පොහොර සඳහා කලිනුත් වෙනම ඇමැතිවරයෙක් හිටියා. කාබනික පොහොර විෂය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට දුන්නා.එම අමාත්‍යාංශය දැරූ මොහාන් සිල්වා මහතාට වෙනත් අමාත්‍යාංශයක් දුන්නා.ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා යටතේ තිබුණු ආයතන හතරක් නැවැත කෘෂිකර්ම අමාත්‍යාංශට ලැබුණා.අමාත්‍යාංශය තුළ ප්‍රතිව්‍යුහගත කිරීමක් තමයි සිද්ධ වුණේ.පොහොර තිබෙන්නේ මගේ අමාත්‍යාංශය යටතේයි.
යල කන්නයට අවශ්‍යය රසායනික පොහොර අපි ළඟ තිබෙනවා.එළඹෙන මහ කන්නයට අවශ්‍යය කාබනික පොහොර අපි නිෂ්පාදනය හා ආනයනය මගින් ගොවීන්ට ලබා දෙන්න කටයුතු කරනවා.අපේ සමාගම් සතුව මෙට්‍රික් ටොන් 102000 ක් පොහොර මේවන විට බෙදා හරිමින් යනවා. කිසිදු ගොවියෙකුගේ හඬක් අපි යටපත් කරන්නේ නැහැ.මම දිස්ත්‍රික්වලට ගිහින් ගොවියෝ මුණ ගැසෙනවා.කාබනික පොහොර වලට එරෙහිව කතා කරන්නේ ගොවියෝ නොවෙයි. රසායනික පොහොර සමාගම් වල මුදල් වලට යටවී සිටින ඒ අයගේ හඬ අපිට වැදගත් නැහැ.
දුම්බර - එම්. ආර්. ප්‍රදීප්