පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් උඩරට මාර්ග භාවිතා කිරීමේදී ඒ පිළිබඳව දැඩි අවධානයෙන් යුතුව කටයුතු කල යුතු බව උඩරට පොලීසිය රථ වාහන රියදුරන්ගෙන් ඉල්ලා සිටී.
උඩරට කඳුකරයට පවතින අධික වර්ෂාවත්, වරින්වර හමන සුළං තත්ත්වය හේතුවෙන් මාර්ගවලට පස් කඳු කඩා වැටීම්, ගල් පෙරළීම්, මාර්ග ලිස්සායාම්, මාර්ග අවට ගිලා බැසීම්, විදුලි හා දුරකතන කණු හා රැහැන් කඩා වැටීම්, මාර්ගය නිසි ලෙස දර්ශනය නොවීම් ආදිය සිදුවිය හැකි බැවින් රියදුරන් මේ පිළිබඳව දැඩි අවධානයෙන් යුතුව රිය ධාවනය සිදු කල යුතුව ඇතැයිද පොලිස් රථවාහන අංශ නිලධාරීහු පවසති.
නුවරඑළිය - බදුල්ල, නුවරඑළිය - හැටන්, තලවකැලේ- නාවලපිටිය, හැටන්- අවිස්සාවේල්ල, නුවරඑළිය- මහනූවර ආදී මාර්ග ඇතුළු උඩරට වතුකරයේ බොහෝ මාර්ගවල මීදුම් තත්ත්වයන් හට ගැනීමේ අවධානමක්ද පවතින බැවින් ඒ පිළිබඳවත් රියදුරන් අවධානය යොමු කරන ලෙස ඔවුහු ඉල්ලා සිටිති.
දැඩි මීදුම් හා අධික වර්ෂාව පවතින අවස්ථාවන්වලදී රථ වාහනවල ඉදිරිපස ප්රධාන ලාම්පුව දල්වාගෙන රථ වාහන ධාවනය කරන ලෙස පොලීසිය එම මාර්ග භාවිතා කරන රියදුරන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.