කටුනායක හා මත්තල ගුවන් තොටුපළ ගුවන් මෙහෙයුම් යළි ආරම්භ කර සංචාරකයන්ට රට විවෘත කිරිමෙන් පසු කණ්ඩායම් වශයෙන් පැමිණෙන සංචාරකයන්ට ප්‍රමුඛතාව ලබාදීමට රජය තීරණය කරයි. සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග පවසන්නේ සංචාරක කණ්ඩායම් දිවයිනට ගෙන්වා ගැනීම සදහා ක්රමෝපායන් මේ වන විට සකස් කර ඇති බවයි.
ශ්‍රී ලංකාවේ මාලදිවයින් තානාපති ඕමාර් අබ්දුල් රසාක් මහතා සහ ඇමති ප්‍රසන්න රණතුංග අතර ඊයේ (09) පැවති සාකච්ඡාවක දී මෙම කරුණු අනාවරණය විය. දෙරට අතර සංචාරක කර්මාන්තය නංවාලීම සදහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම සදහා සංචාරක අමාත්‍යාංශයේ දී හමුව පැවැත්විණ.
සාකච්ඡාවේ දී මාලදිවයින් තානාපතිවරයා ගුවන් තොටුපළ විවෘත කීරීමට අපේක්ෂා කරන්නේ කවදාදැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතාගෙන් විමසා සිටියේය. ඇමතිවරයා එහි දී කියා සිටියේ ඉතා කඩිනමින් කටුනායක හා මත්තල ගුවන් තොටුපළ විවෘත කර රට සංචාරකයන්ට විවෘත කිරීමට අපේක්ෂා කරන බවයි. ඒ සම්බන්ධයෙන් ඇමති මණ්ඩලයට අදාළ නිර්දේශ ඉදිරිපත් කර ඇති බව ද ඇමතිවරයා කියා සිටියේය. කොවිඩ් පාලනය සම්බන්ධයෙන් පත් කළ ජනාධිපති කමිටුවට ද මෙම නිර්දේශ ඉදිරිපත් කර තිබෙන බව ද රණතුංග කීවේය.
ශ්‍රී ලංකාවේ මාලදිවයින් තානාපතිවරයා මෙහි දී කියා සිටියේ මාලදිවයින් වැසියන් ලෝකයේ වැඩිපුරම සම්බන්ධකම් පවත්වන රට ශ්‍රී ලංකාව බවයි. ඔවුන් බොහෝ දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණිමේ අපේක්ෂාවෙන් සිටින බව ද තානාපතිවරයා මෙහි දී කියා සිටියේය. කොවිඩ් 19 පාලනය සදහා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ප්රමුඛ රජය ගෙන ගිය වැඩ පිළිවෙලට සිය ප්‍රසාදය පළ කළ මාලදිවයින් තානාපතිවරයා ලෝකයේ කොවිඩ් 19 පාලනය කළ රටවල් අතරින් ඉදිරියටම ඒමට ශ්‍රී ලංකාවට හැකි වුණේ ජනාධිපතිවරයා අනුගමනය කළ ක්‍රියාකලාපය නිසා බවද කීවේය.