කඩුවෙල අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් ඊ.එම් . හේමපාල ඒකනායක මහතාගේ කඩුවෙල කොතලාවල විහාර මාවතේ නිවසට ඔවුන් රැඳී සිටින අවස්ථාව බලා පෙට්‍රල් දමා ගිනි තැබීමට උත්සාහ දැරූ සැකකරුවන් දෙදෙනා අද (13) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි
එම සැකකරුවන් දෙදෙනා ඒ සඳහා පැමිණි බව කියන මෝටර් රථයක් සහ යතුරුපැදියක් ද පොලිස් බාරයට ගෙන ඇත.
ඉකුත් සැප්තැම්බර් මස 17 වැනි දින රාත්‍රියේ දී මෙම සැකකරුවන් දෙදෙනා පෙට්‍රල් පිරවූ ප්ලාස්ටික් බූලියක් වැඩ බලන මහේස්ත්‍රාත් වරයාගේ නිවස ඉදිරිපිටට විසිකර අනතුරුව ගිනි දල්වන ලද පන්දමක් ඒ දෙසට විසිකර යතුරුපැදි කින් සහ මෝටර් රථයකින් පලාගොස් තිබිණි .
අදාල ගිනි දැල්වූ පන්දම පෙට්‍රල් විසුරුණු ස්ථානයට පතිත නොවී ඊට මදක් ඈතින් වැටීම හේතුවෙන් කිසිදු ගිනි ගැනීමක් සිදු නොවී ඇති අතර එම සිද්ධිය වන අවස්ථාවේදී වැඩබලන මහේස්ත්‍රාත්වරයා සහ ඔහුගේ බිරිඳ ද එම නිවසේ සිට ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකර සැකකරුවන් වහා අත්අඩංගුවට ගන්නා ලෙස බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්සලම් ද සිල්වා මහතා වෙත උපදෙස් ලබා දී තිබූ බව පොලිසිය කියයි
ඒ අනුව ප්‍රධාන පොලිස් පරීක්ෂක රත්නායක මහතා ඇතුළු නිලධාරීන් විමර්ශන සිදුකර හෙළිකරගත් තොරතුරු අනුව මෙම සැකකරුවන් දෙදෙනා දෙමටගොඩ ප්‍රදේශයට පැමිණ සිටියදී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය
අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු වන කඩුවෙල කොතලාවල පදිංචි බී .ඩි .උදය ශාන්ත නමැත්තාට අයත් නාවල කොස්වත්ත පාරේ පිහිටි පර්චස් 250 ප්‍රමාණයකින් යුත් ඉඩම සංවර්ධනය කිරීම සඳහා පහත්බිම් සංවර්ධන මණ්ඩලයෙන් අවසර ඉල්ලා ඇති අතර එහි නීති නිලධාරීනි ලෙස කටයුතු කරන වැඩබලන මහේස්ත්‍රාත් වරයාගේ බිරිඳ ඊට අවසර නොදීම හේතුවෙන් ඊට උරණව සැකකරු විසින් වැඩබලන මහේස්ත්රාත්වරයාව සහ ඔහුගේ බිරිඳ වන නීති නිලධාරිනිය නිවස තුළම ගිනි තබා ඝාතනය කිරීම සඳහා මෙම සිද්ධිය සිදු කරන්නට ඇති බව පොලිසිය කියයි
ඒ සඳහා ප්‍රධාන සැකකරුගේ ගෝලයෙකු වන බත්තරමුල්ල අරුක් පිටිය තලංගම දකුණ පදිංචි වයි.ඒ.ඩී. කිත්සිරි නැමැත්තාව සහභාගී කරගෙන තිබු බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු වයස අවුරුදු 51 අනෙක් සැකකරු වයස අවුරුදු 47 කි.
සැකකරු දෙදෙනා හෙට (14) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය