හැට හතර හැවිරිදි කෝටිපති ඉඩම් හිමි වැවිලිකාර මිතුරාගෙන් රුපියල් ලක්ෂ හතළිහක කප්පම් මුදලක් ලබාගැනීමට උත්සාහ දැරූ අයෙක් වරකාගොඩදී ඊයේ (13දා) අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.
එම සැකකරු කප්පම් මුදල ලබා ගැනීමට පැමිණි සුඛෝපභෝගී මෝටර් රථයද පොලීසිය භාරයට ගෙන තිබේ.
පැමිණිලිකාර කෝටිපති ව්‍යාපාරිකයා හා සැකකාර ව්‍යාපාරිකයා මිතුරන් බවත්, පැමිණිලිකරුගේ ඉල්ලීම අනුව සැකකර මිතුරා කාන්තාවක් ඔහුගේ නිවසට සපයාදී තවත් පුද්ගලයෙකු සමග එක්ව හොර රහසේ එය වීඩියෝගත කර ඇති බවත් සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිස් නිලධාරියෙකු පැවසීය.
මීට මාස දෙකකට පමණ ඉහතදී මෙම සිද්ධිය සිදුවී ඇති අතර, දින කිහිපයකට පෙරදී පැමිණිලිකරුගේ නිවසට පැමිණ තිබූ සැකකාර මිතුරා අදාළ කාන්තාව සමග සමීප ඇසුර පැවැත්වූ වීඩියෝ දර්ශනයක් කෝටිපති ව්‍යාපාරිකයාට පෙන්වා එය අන්තර්ජාලයට මුදා හරින බවටත්, එසේ නොකිරීමට නම් රුපියල් ලක්ෂ හතළිහක මුදලක් අවශ්‍ය බවටත් තර්ජනය කර තිබූ බව පොලීසිය පවසයි.
මෙයින් දැඩි අපහසුතාවට පත් වූ පැමිණිලිකරු ඒ මොහොතේම සැකකරුට රුපියල් ලක්ෂ දෙකක මුදලක් ලබාදී ඉතිරි මුදල් ඊයේ (13දා) ලබාදෙන බවට පොරොන්දු වී තිබූ බව පොලීසිය පවසයි.
මේ පිළිබඳව සිද්ධියට මුහුණදුන් කෝටිපති ව්‍යාපාරිකයා කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති විජිත ගුණරත්න මහතා හමු වී පැමිණිලි කිරීමෙන් අනතුරුව නියෝජ්‍ය පොලිස්පතිවරයා කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ඒ පිළිබඳව පරීක්ෂණ පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස උපදෙස් දී තිබේ.
ඒ අනුව සැකකරු අදාළ කප්පම් මුදල් ලබා ගැනීම සඳහා කෝටිපති ව්‍යාපාරිකයාගේ නිවසට පැමිණ සිටියදී රැකවල්ලා සිටි පොලිස් නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරියෙකු පැවසීය.
අත්අඩංගුවට ගත් එම සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අසභ්‍ය වීඩියෝ දර්ශන ඇතුළත් ජංගම දුරකථනයක් සැකකරු සන්තකයේ තිබී පොලිස් භාරයට ගෙන තිබේ.
සැකකරු කෝටිපති ව්‍යාපාරිකයාගේ නිවසට රැගෙන ආ කාන්තාවට මේ සඳහා රුපියල් ලක්ෂයක මුදලක් ව්‍යාපාරිකයාගෙන් ලබාගත් රුපියල් ලක්ෂ දෙකක මුදලින් ලබාදුන් බවටද සැකකරු වැඩිදුරටත් අනාවරණය කළ බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
සැකකරුගේ සහයට පැමිණි අනෙක් පුද්ගගයා කළුතර උතුර, උග්ගල්බඩ, ප්‍ර‘දේශයේ පදිංචිකරුවෙකු බවත්, ඔහු හා ගල්පාත පදිංචි කාන්තාව මේ වනවිට ප්‍ර‘දේශය හැරගොස් ඇති බවත් පොලීසිය පවසයි.
සැකකරු හා නඩු භාණ්ඩ වරකාගොඩ පොලීසියට භාරදී තිබේ.
කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති විජිත ගුණරත්න, වැඩබලන පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස මහත්වරුන්ගේ උපදෙස් මත කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තිලංග සංජීව, පොලිස් පරීක්ෂක වීරසිරි ඇතුළු නිලධාරීහු සිද්ධිය සම්බන්දයෙන් පරීක්ෂණ පවත්වති.
බණ්ඩාරගම - බිමල් ශ්‍යාමන් ජයසිංහ