දින 53ක් පුරා පැවැති දේශපාලන අර්බුදය හේතුවෙන් මතු වූ ඖෂධ හිඟයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද වගකිව යුතු බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
චීන සහන ණය ආධාර යටතේ දිවයිනේ තෝරා ගත් රෝහල් 13 ක් සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙල යටතේ පොතුවිල් මූලික රෝහලේ ඉදිකෙරෙන මහල් 03 කින් යුත් වාට්ටු සංකීර්ණය සඳහා මුල්ගල් තැබීමේ උත්සවයට ඊයේ (10) පස්වරුවේ එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසිය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,
“සෞඛ්‍ය සේවාවන් දීප ව්‍යාප්ත කර තිබෙනවා. නවීන උපකරණ රෝහල්වලට ලබා දෙනවා. මෙමගින් අපි බලාපොරොත්තු වන්නේ කොළඹ තිබෙන ප්‍රධාන රෝහල් වලට පැමිණෙන රෝගීන්ගේ සංඛ්‍යාව අඩු කිරීමටයි. සාමාන්‍ය ජනතාවගේ මුදල් පසුම්බියෙන් මුදල් වියදම් නොකර ඉතිරිකර ගැනීමේ අරමුණින් මෙම වැඩපිළිවෙල ජනතා හිතසුව පිණිස මම දියත් කරනවා.”
“දින 53 ක් පුරා පැවැති දේශපාලන අර්බුදය හේතුවෙන් ඖෂධ හිඟයක් රෝහල්වල මතු වුණා. එම දිනවල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උපදෙස් මත තමයි අමාත්‍යාංශයේ වැඩ කටයුතු සිදු වුණේ. එම දිනවල හිටපු අමාත්‍යවරයා ද වටකරගෙන සිටියේ එම සංගමයේ නිලධාරීන්. අන්තිමට ඇමැතිවරයාටත් මෙම සංගමය එපා වුණා. වසර 03කට අධික කාලයක් හිඟයකින් තොරව ඖෂධ ලබාදීමේ වැඩපිළිවෙල විනාශ කෙරුණා.
අමාත්‍යාංශයේ අරක්ගෙන සිටි වෛද්‍ය සංගමයේ නිලධාරීන්ටවත් ඖෂධ හිඟයක් ඇතිවන බව පෙනුනේ නැහැ. මම රෝගී ජනතාවට මෙවැනි අපරාධයක් කළේ නැහැ. ඖෂධ හිඟයක් ඇති කළ අපරාධයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද වගකිව යුතුයි. මම සෞඛ්‍ය අමාත්‍යධූරයට යළි පත් වූ පසු ඖෂධ හිඟයට අවශ්‍ය විසදුම් ලබාදුන්නා. පිළිකා රෝගීන්ට අවශ්‍ය ඖෂධ ගුවන් මගින් කොළඹට ගෙනවිත් බෙදාහැරියා. මෙම ඖෂධ හිඟය මාර්තු මස අවසන් වනවිට නිරාකරණය වනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.
මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා පොතුවිල් මූලික රෝහලේ ඉදිකරන ලද රුධිර කාන්දුපෙරණ මධ්‍යස්ථානය ද විවෘත කරන ලදි. 2016 වසරේ ජනවාරි මස මෙම රෝහලට පැමිණී සෞඛ්‍ය අමාත්‍යවරයා රෝහලට රුධිර කාන්දුපෙරණ මධ්‍යස්ථානයක් ලබාදීමට පොරොන්දු විය. එම පොරොන්දුව ඉටු කරමින් ඉදි කරන ලද මෙම මධ්‍යස්ථානය සෞඛ්‍ය අමාත්‍යවරයා අතින්ම විවෘතවීම විශේෂත්වයකි.