පසුගිය ඔක්තෝබර් 25 වනදා වනවිට මේ රටේ කිසිදු රෝහලක කිසිදු ඖෂධ හිඟයක් නොමැති තත්ත්වයට පත් කර තිබූ නමුත් ඔක්තෝබර් 26 වනදා ඇති කළ වැඩේ නිසා ඖෂධ වර්ග 216ක් හිඟ වී හෝ හිඟ වෙමින් තිබූ බවත් මේ වන විටත් අත්‍යාවශ්‍ය ඖෂධ පනස් ගණනක හිඟයක් පවතින බවත් සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් මතාගේ ඉල්ලීම මත අද (24 ) වනදා පෙරවරුවේ අකුරණ ප්‍රාදේශීය රෝහල නිරීක්ෂණය සඳහා පැමිණි අවස්ථාවේදී අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ බව පැවසිය.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
පසුගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසයේ 25 වනදා වනකම් අවුරුදු තුනට කිසිම රෝහලක ඖෂධ හිඟයක් තිබුණේ නෑ. හිඟ තිබුණා නම් ඒකේ වගකිම භාර ගන්න ඕන ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයා. ඖෂධ හිඟයක් නැතිව රෝහල් පද්ධතිය ගෙනයන්න අවශ්‍ය සියලු කටයුතු මම කරලයි තිබුණේ.
2015 මම ආවහම මට තිබුණ ලොකුම හිසේ කැක්කුම තමයි ඖෂධ හිඟය. මාධ්‍යවේදීන්ට හොඳ පුවත් ලැබුණා. ඖෂධ ලැබුනම පළ කරන්නේ නෑ. බෙහෙත් නෑ කියලා පුවතක් වෙනවා. හැමදාම පත්තර උදේ බැලුවහම පේන්නේ ඖෂධ නෑ කියලා. මම මේ ගැන හොයලා බැලුවහම හැමදාම ඖෂධ වර්ග 44 ත් 79 ත් අතර හිඟයක් තිබුණා. ඒක තමයි එදා තිබුණ තත්ත්වය.
ඊට පස්සේ මම රාජ්‍ය නීතිගත සංස්ථාවට කතා කරලා කිව්වා 2014 දෙසැම්බර් 31 වනදා වනවිට කල් ඉකුත්වූ ඖෂධ කොපමණ ප්‍රමාණයක් විනාශ කරන්න ඇවිත් තියෙනවද කියලා හොයල දෙන්න කියලා. මට සතියකින් පමණ වාර්තාව ලබා දුන්නා. ඒක අනුව රුපියල් කෝටි 35ක ඖෂධ විනාශ කරන්න වෙලා තිබුණා. කෝටි 35 ක ඖෂධ කල් ඉකුත් වීම නිසා විනාශ කරන කොට අනෙක් පැත්තෙන් ඖෂධ වර්ග 44- 79 ත් අතර ප්‍රමාණයක අඩුවක් තිබෙනවා.
මට තේරුණා මෙතෙන ඖෂධ හිඟයක් නෙවෙයි තියෙන්නේ ඖෂධ කළමණාකරණය කර ගැනීමට නොහැකි වීම නිසා ඇති වූ තත්ත්වයක් බව. ඒ අනුව මම රජයේ ඉක්ටා අයි.සී..ටී. ආයතනයට කතා කරල මම මේ රෝහල් සඳහා පරිගණක මෘදුකාංගයක් හදා ගත්තා. ඒක හදල දුන්නට පස්සේ මට පුළුවන් මගේ පරිගණකයෙන් බලා ගන්න ලංකාවේ හැම රෝහලකම තියෙන හැම ඖෂධයකම ප්‍රමාණය පිළිබඳව. ඒ වගේම මේ හැම රෝහලකටම ඒක ලබා දීල තියෙනවා.
ඒ අනුව රෝහල් ප්‍රධානියෙකුට ලබා ගන්න පුළුවන් තමන්ගේ රෝහලේ යම් ඖෂධයක් නැති නම් ඒක ළඟම කොයි රෝහලේද තියෙන්නේ කියලා. මම අයිතිය දුන්නා ඒක ගෙන්වා ගන්න. අපි තැබූ විශ්වාසය නිසා අන්තර්ජාලය හරහා මෙම බෙහෙත් ගෙන්වා ගන්න අවස්ථාව ලබා දුන්නා. මේ තත්ත්වය හමුවේ මට වාර්තා වුණේ නෑ කොහේවත් රෝහලක පසුගිය වසර තුන තුළ ඖෂධයක් හිඟයි කියලා. ඒ වගේම පත්තරයක වාර්තාවක් ගියෙත් නෑ.