පසුගිය ආණ්ඩුව සමයේ මහ බැංකුව මංකොල්ල කෑවා මෙන් මෙම ආණ්ඩුව පාලන සමයේ රටේ එළවලු අලෙවි කරන වෙළෙඳ සැල් මංකොල්ලකරුවන්ගෙන් බේරා ගැනීමේ වැඩපිළිවෙලක් වහාම ක්‍රියාත්මක විය යුතු බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා රජයෙන් ඉල්ලීමක් කර සිටියි.
මේ වන විට බද්දේගම ප්‍රදේශයේ එළවලු වෙළඳසැල් කිහිපයක් කඩා බී ලූණු සහ එළවළු මංකොල්ල කා ගොස් ඇති බවත් එළවළු වගාවන් හි ගොවින්ද අවි ආයුධ ළඟ තබා ගෙන එළවලු කොටුව ආරක්ෂා කරගැනීමේ ක්‍රියාවලියකට නතු වි තිබෙන නිසා වහාම එළවලු කොටුවලට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ හෝ ආරක්ෂාව ලබා දෙන්නැයි හෙතෙම බලධාරීන්ගෙන් ඉල්ලීමක් ද කළේය.
එළවලු මිල ඉහළ යෑම පහළ යෑම සහ එළවලු වගා පිළිබඳව නිසි ක්‍රමවේදයක් නොමැතිවිම පිළිබඳව ජනතාව දැනුවත් කිරිම සඳහා ඊයේ ( 19) දින පස්වරුවේ දඹුල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී නාමල් කරුණාරත්න මහතා මේ බව පැවසීය.
මේ දිනවල එළවලු මිල ශිඝ්‍රයෙන් ඉහළ ගියද තවත් මාස එකහමාරක් පමණ ගත වෙද්දී එළවලු දන්සල් දීමට තරම් නිෂ්පාදනය වන බව පෙන්වා දුන් නාමල් කරුණාරත්න මහතා කියා සිටියේ රටේ එළවලු නිෂ්පාදනයෙන් සියයට හතළිහක් අපතේ යෑම සිදුවන බවය.
එමෙන්ම මෙරට තක්කාලි නිෂ්පාදනය ඕනෑතරම් පවතිද්දි විදේශ රටවලින් එකම තක්කාලි නිෂ්පාදනය වසර හයක් කල් තබා ගෙන ආහාරයට ගැනිමට හැකි වන පරිදි වර්ග හයකින් මෙරට අලෙවි කිරිම සිදු වෙන බව ද පෙන්වා දුන්නේය .
නාමල් කරුණාරත්න මහතා එවැනි විදේශ රටවලින් ගෙන්වා තක්කාලි ආහාර ඇසුරුම් වර්ග ටින් මාධ්‍ය හමුවට ගෙනවිත් තිබිම විශේෂත්වයකි.
තවදුරටත් අදහස් දැක්වූ නාමල් කරුණාරත්න මහතා,
"මීට මාස කිහිපයකට ඉහතදි දඹුල්ලේ ඉවත් කරන එළවලු කිලෝ ලක්ෂ ගණනාවක් අලි ආහාරයට ගන්න දර්ශන රූපවාහිනී වල පත්තරවල අපි දැක්කා. ඊට මාස කිහිපයක් ගතවෙද්දි එළවලු ගිනි ගණන් ගියා. තවත් මාස එකහමාරක් පමණ ගත වෙන කොට නැවතත් එළවලු දන්සල් දෙන්න අලින්ට කන්න දෙන්න තරමට එළවලු වගාවන් අතහරින තරමට පත් වෙනවා. මේක තමයි මේ රටේ එළවලු විකෘතිය කියලා කියන්නේ.
අපේ රටේ එළවලු පලතුරු වගාවට වෙළඳාමට පරිභෝජනයට ප්‍රවාහනයට කිසිදු ප්‍රතිපත්තියක් නැහැ. සියයට හතළිහක් පසු අස්වනු හානිය නිෂ්පාදනයෙන් පස්සේ විනාශ වෙනවා. මේ ගැන කිසිම කෙනෙක් නිසි ලෙස අවධානය යොමු කරලා ඊට විසඳුමක් සොයාගෙන නැහැ. අඩුම තරමේ එකම එක කිලෝ 5ක් වත් විජලනය කරන්න ශිත ගබඩාවක තියාගන්න අපේ ආණ්ඩු කරවපු කාටවත් බැරිවුණා.
ග්‍රාම සේවා වසම වසමක් ගානේ කෘෂිකර්ම නිෂ්පාදන පර්යේෂණ සහකාරවරු වැටුප් ලබමින් ඉන්නවා හැබැයි ගොවියා තමන්ට හිතලු පරිදි වගා කරනවා ඒක තමයි සත්‍යය. එහි කිසිදු නියාමනයක් මගපෙන්වීමක් සියල්ල සිදු වෙන්නේ නැහැ. ගොවියාගේ වගාවට නිශ්චිත මිලක් නැහැ. වගා ක්‍රමවේදයක් සකස් කරල නැහැ. නිසි ක්‍රමවේදයක් තවමත් මෙරට ක්‍රියාත්මක වෙන්නේ නෑ. ගොවියා සූරාගෙන කන ක්‍රමවේද පාරිභෝගිකයා සූරාගෙන කන ක්‍රමවේද අතරමැදියන් ඒකරාශි වි මේ සියලු දෙනාම සූරා කන ක්‍රමවේදයක් මෙරට එළවලු පළතුරු වෙළඳාමේදී පවතින්නේ.
අද වනවිට එළවලු වගාවන් ටික එළවලු කොටුව එළවලු අලෙවිකරණ බක්කිය වන සතුන්ගෙන් නෙවෙයි හොරුන්ගෙන් බේරා ගැනීමට නොහැකි තත්ත්වයටම පත්වෙලා. මේ විකෘති තත්ත්වය අවසන් කරලා රටේ එළවලු සඳහා නිසි වැඩ පිළිවෙලක් සකසන්නට අපි වර්තමාන ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.
දඹුල්ල - කාංචන කුමාර ආරියදාස