එක්සත් ජාතික පෙරමුණ සමගඑක්ව සිටින එක්සත් ජාතික පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ හා සංවිධාන එක්ව පිහිටුවනු ලබන පුළුල් දේශපාලන පෙරමුණ, කොළඹ නගර සභා පිටියේ පැවැත්වෙන එ.ජා.ප. මැයිදින රැලියේදී එළිදැක්වීමට සියලු කටයුතු යොදා ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.
එක්සත් ජාතික පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පෙරමුණේ සෙසු දේශපාලන පක්ෂ නායකයන් මේ සම්බන්ධව අවස්ථා කිහිපයකදී සාකච්ඡා කර තිබෙන බවත්,එහි සංවිධාන ව්‍යූහය සකස් කරන ආකාරය සම්බන්ධව අවසන් එකඟතාවලට එළඹ තිබෙන බවත් වාර්තා වෙයි.
ශ්‍රීලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නව දේශපාලන සන්ධානයක් සම්බන්ධව සාකච්ඡා කර තිබෙන පසුබිමෙක එක්සත් ජාතික පෙරමුණේ දේශපාලන සන්ධානය ඉක්මන් කළ යුතු බවට එහිදී සාමාජික පක්ෂ පෙන්වා දී තිබේ.
එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන කරගෙන මෙම දේශපාලන පෙරමුණ නිර්මාණය කළ යුතු බවත්,නොවැම්බර් මාසය වනවිට එහි සංවිධාන ශක්තියෙන් ජනාධිපතිවරයෙකු බිහිකර ගැනීමට අවශ්‍ය පරිසරය රට තුළ නිර්මාණය කළ යුතු බවත් පක්ෂ නායකයන් අවධාරණය කර ඇත.
ඒ අනුව පුළුල් ප්රචාරක වැඩපිළිවෙළක් ඔස්සේ ඡන්ද දායකයා ආකර්ෂණය කර ගැනීමට වැඩපිළිවෙළක් සකස් කර තිබෙන බව දැනගන්නට ලැබේ.
මේ අතර, ලබන බදාදා (21දා) පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මෙම දේශපාලන පෙරමුණ පිළිබඳ එ.ජා.ප.යේ අවසන් තීරණය ගැනීමට නියමිත බවද වාර්තා වෙයි.
මේසම්බන්ධව කළ විමසීමකදී රජයේ ඇමතිවරයෙකු සඳහන් කළේ, ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන දේශපාලන පෙරමුණක් නිර්මාණය කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ පූර්ණ සහාය ලැබෙන බවයි.
බදාදා පැවැත්වෙන කෘත්‍යධිකාරී මණ්ඩල රැස්වීමේදී වැදගත් තීන්දු කිහිපයක් ගැනීමට නියමිත බවද හෙතෙම පවසා සිටියේය.