UPDATE 10.45 PM
නායකයා ලෙස සජිත් තෝරා ගත්තා හරීන්, ෆොන්සේකා රංජිත් කියති
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පිළිබඳව ඊයේ (16දා) පැවැති සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන් වී තිබේ.
මෙම සාකච්ඡාව තුළ විවිධ මතවාද ඇති වී තිබෙන නිසා රනිල් වික්‍රමසිංහ, නවින් දිසානායක, කබීර් හෂීම්, මලික් සමරවික්‍රම ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් සාකච්ඡාව අතරතුර ඉවත්ව ගොස් තිබේ. මේ නිසා මන්ත්‍රීවරුන් 52 දෙනෙකු සිටියදී ඡන්ද විමසීම පවත්වා ඇතැයි වාර්තා වන අතර, එම 52 දෙනාගේම කැමැත්ත සජිත් ප්‍රේමදාස මහතාට හිමිව තිබේ.
එක්සත් ජාතික පක්ෂ නායකයා තේරීම සඳහා ඊයේ (16දා) රැස් වූ මන්ත්‍රී කණ්ඩායමේ බහුතර පිරිසකගේ කැමැත්ත විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට හිමි වූ බව හරින් ප්‍රනාන්දු, සරත් ෆොන්සේකා, රංජිත් මද්දුමබණ්ඩාර යන මන්ත්‍රීවරු සඳහන් කරති.
එහෙත් ඊයේ පැවැති මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී නායකත්වය පිළිබඳ අවසන් තීරණයක් නොගත් බවත්, ඒ සම්බන්ධයෙන් ලබන සඳුදා හෝ අඟහරුවාදා තීරණයක් ගන්නා බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නවින් දිසානායක මහතා සඳහන් කළේය.
ඊයේ පැවැති මන්ත්‍රී කණ්ඩායම රැස්වීම සඳහා මන්ත්‍රීවරුන් හැටපස් දෙනෙකු සහභාගි වූ බවත්, එම පිරිසෙන් 52 දෙනෙකුගේ කැමැත්ත සජිත් ප්‍රේමදාස මහතාට හිමි වූ බවත් රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කළේය.
මේ නිස සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් පුළුල් සන්ධානයක් පිහිටුවා මැතිවරණයට ඉදිරිපත් වීමට කටයුතු කරන බවත්, මේ පිළිබඳ සහෝදර පක්ෂ සමග සාකච්ඡා කර අගමැති අපේක්ෂකයා ලෙසත් සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කරන බවත් ඔහු පවසා සිටියේය.
මීට අමතරව ව්‍යවස්ථානුකූලව පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය හා පක්ෂ සම්මේලනයක් කැඳවීමට කටයුතු කරන බවත්, පක්ෂයේ සමගිය ආරක්ෂා කර ගනිමින් කටයුතු කරන බවත් කී හෙතෙම කරු ජයසූරිය මහතා සම්බන්ධ කරගෙන සන්ධානයක් ලෙස කටයුතු කරන බවද සඳහන් කළේය.
සන්ධානයේ නායකයා ලෙසත් සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කරන බවද ඒ මහතා පවසා සිටියේය.
ඊයේ පැවැති සාකච්ඡාවලදී තීරණයක් ගැනීමට නොහැකි වූ බවත්, මෙම සාකච්ඡාවේදී මත කිහිපියක් ඉදිරිපත් වූ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා සඳහන් කළේය.
සියලුම නායකයන් පක්ෂයට අවශ්‍ය අතර, පක්ෂය ඉදිරියට ගමන් කළ යුතු වන්නේ එකමුතුවෙන් බවත්, මේ නිසා ලබන සඳුදා (20දා) හෝ අඟහරුවාදා (21දා) අනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස මහතා හා කරු ජයසූරිය මහත්වරුන් එක්ව සාකච්ඡා කර තීරණයකට පැමිණෙන බවත් ඔහු සඳහන් කළේය.
දැනට තිබෙන ආකාරයට කඩිනමින් පාක්ෂිකයන්ට විසඳුමක් ලබාදෙන බවත්, ලබන සඳුදා හෝ අඟරුවාදා මෙම තීන්දුව ලබාදෙන බවත් ඒ මහතා කියා සිටියේය.
ඊයේ පැවැති සාකච්ඡා සාර්ථක වූ බවත්, බහුතරයක් මන්ත්‍රීවරුන් නායකත්වය මාරුවිය යුතු බවට සඳහන් .කළ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සඳහන් කළේය.
මේ නිසා ඉදිරි කටයුතු කඩිනමින් ආරම්භ කර සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් ඉදිරි කටයුතු කරගෙන යන බවද ඔහු පවසා සිටියේය.
පක්ෂයේ සාමාජිකයන් ලෙස සිටිමින් සන්ධානයක් තුළ සිට ඉදිරි මැතිවරණයට මුහුණදෙන බවත්, සාකච්ඡාව තුළ රනිල් වික්‍රමසිංහ මහතා සිටිය, බලාපොරොත්තු වූ තීරණය ඔහුගෙන් නොලැබුණු නිසා තීරණයක් ගත් බවත් හෙතෙම සඳහන් කළේය.
9.24 PM එජාප නායකයා ගැන තීරණයක් නෑ
එක්සත් ජාතික පක්ෂයේ නායකයා තේරීම සඳහා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම පැවැත්වූ රැස්වීම විසඳුමකින් තොරව අවසන් ව තිබේ.
කෙසේ වෙතත් නායකත්වය පිළිබඳව තීරණයක් ගැනිම සඳහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස හා කථානායක කරු ජයසූරිය යන මහත්වරුන් ලබන සතියේදී රැස්වීමටද තීරණය කර ඇති බව වාර්තා වෙයි.