ඉන්දියාවේ සිටින ශ්රී ලාංකික සරණාගතයින් මෙරටට ගෙන්වා ගැනීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධිකාරක හනා සිංගර් මහත්මිය ඊයේ (13) දින උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේස් රාඝවන් මහතා හමු වී සාකච්ඡාවක නිරත විය.
උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවති අතර යුද්දෙන් පසුව උතුරේ ජනතාවගේ පහසුකම් සම්බන්ධයෙන් මෙම සාකච්ඡාව පැවත්වුණි.
එහිදී උතුරේ ජනතාව වෙනුවෙන් රජය විසින් සිදුකරගෙන යන සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ පැසසුමට ලක්ව ඇති බවට හනා සිංගර් මහත්මිය කියා සිටියාය.
එමෙන්ම මේ වනවිට පැන නැගී ඇති ඉඩම් ගැටලු හා නිවාස ගැටලු නිරාකරණය කිරීමටද අවස්ථාව ලැබෙනු ඇතැයි විශ්වාසය පලකරන අතරම යුද්ධය හේතුවෙන් මෙරට අතහැර ඉන්දියාවට ගොස් ඉන්දියාවේ සරණාගතයින් වශයෙන් දිවි ගෙවන ශ්රී ලාංකිකයින් නැවත මෙරටට ගෙනවා ගැනීමටද රජය සමඟ සාකච්ඡා කොට කටයුතු සලසා දීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත් වන ලෙසටද උතුරු පළාත් ආණ්ඩුකාර සුරේස් රාඝවන් මහතා දැනුම් දෙනු ලැබීය.
එහිදී අදාළ කරුණ සම්බන්ධයෙන් තමන් අදාළ පාර්ශවයන් සමඟ සාකච්ඡා කිරීමට පියවර ගන්නා බවටද හනා සිංගර් මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.