ඉන්දුනීසියාවේ ගරුඩා ගුවන් සේවයට අයත් ගුවන් යානයක හදිසියේ දුමාරයක් ඇති වීම නිසා අද (02දා) රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත හදිසි ගොඩ බෑමකට ලක් කිරීමට එම ගුවන් යානයේ ගුවන් නියමුවා පියවර ගෙන තිබේ.
මෙය ඉන්දුනීසියාවේ ගරුඩා ගුවන් සේවයට අයත් ජී.ඒ.- 972 දරණ ඒ.- 330 වර්ගයේ ගුවන් යානයක් වූ අතර එහි මගීන් සහ කාර්යය මණ්ඩලය 338 ක් සිටිය බැව් ගුවන් තොටුපළ කාර්යයභාර නිලධාරීවරයා පැවසීය.
මෙම ගුවන් යානය ඉන්දුනීසියාවේ බණ්ඩාචි ගුවන් තොටුපළේ සිට සෞදි අරාබියේ ජෙඩා ගුවන් තොටුපළ බලා පිටත්ව යමින් සිටියදී , මෙම යානය තුළ හදිසියේම දුමාරයක් ශ්‍රී ලංකාවට ඉහළ අහසේ දී ඇති වීම නිසා , එම ගුවන් යානයේ නියමුවා විසින් කටුනායක ගුවන් තොටුපළ වෙත ඒ බැව් දැනුම් දීමෙන් අනතුරුව ගුවන් තොටුපළ ගොඩ බෑමකට අවසර ලැබී තිබුණි.
ඒ අනුව ගිනි නිවීමේ රථ , ගිලන් රථ ඇතුළු සියලු හදිසි ගොඩ බෑමකට අවශ්‍ය දෑ කටුනායක ගුවන් තොටුපළ තුළට රැගෙන විත් සූදානම් කිරීමකට ද පියවර ගෙන තිබුණි.
මේ අතර මෙම ගුවන් යානයේ නියමුවා විසින් මෙම ගුවන් යානය මැනවින් පාලනය කර ගනිමින් රාත්‍රී 9.00 ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බෑමට සමත් විය.
පසුව මෙම ගුවන් යානයේ වූ මගීන් යානයෙන් ඉවත් කර කටුනායක ගුවන් තොටුපළ අවට හෝටල් වෙත යොමු කිරීමට පියවර ගෙන තිබෙන අතර, ගුවන් යානය තුළ හදිසියේ හටගත් දුමාරය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ කටයුතු ගුවන් සේවා ඉංජිනේරුවන් විසින් ආරම්භ කර තිබේ.
ටී.කේ.ජී. කපිල