ආබාධිත රණවිරුවන්ගේ විශ්‍රාම වැටුප් ගැටලුවලට විසදුම් ලබාදෙන යහපාලන රජයට බලකරමින් ආබාධිත රණවිරුවන්ට විශ්‍රාම වැටුප් ලබා දෙන්නැයි ඉල්ලා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්වූ උද්ඝෝෂණයකට පොලිසිය එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාරය සිය ඇසකට හානීවී සදාකාලික අන්ධභාවයට පත් වීමට තමන්ට රු. කෝටියක වන්දියක් අය කර දෙන්නැයි ඉල්ලා ආබාධිත රණවිරුවකු විසින් ගොනු කොට ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමක් ලබන මැයි මස 4 සිට විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (15) තීරණය කළේය.
යුද්ධයේදී මෝටාර් ප්‍රහාරයකින් බෙල්ලට සිදුවු තුවාල වලින් අනතුරුව සේවයෙන් විශ්‍රාම ගන්වන ලද පෙත්සම්කාර රණවිරුවා ඇතුළු රණවිරුවන් පිරිසක් සිය විශ්‍රාම වැටුප් ගැටලුවලට විසදුම් ලබාදෙන ලෙස රජයට බල කරමින් පැවැත්වූ උද්ඝෝෂණයට පොලිසිය විසින් එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාරවලින් තම ඇසක් සම්පූර්ණයෙන්ම අන්ධ වු බව පවසමින් ගොනු කොට ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම විභාග කිරීමට තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සමට වගඋත්තරකරුවන් පිරිසක්ද එක් කිරීමට අවසර දුන්නේය.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් මීට පෙර නම් කොට සිටි එවකට කොළඹ කොටුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති වරයාව සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමිත් ගුණරත්න පොලිස් මූලස්ථානය සහකාර පොලිස් අධිකාරී හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර එවකට නීතිය හා සාමය ඇමති වරයාව සිටි රත්නායක ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ නීතිපතිවරයාට අමතරව වැඩ බලන පොලිස්පතිවරයා ආරක්ෂකලේකම් කමල් ගුණරත්න අභ්‍යන්තර ආරක්ෂක කටයුතු අමාත්‍ය චමල් රාජපක්ෂ යන අය ද නම් කිරීමට පෙත්සම්කරුට අවසර දුන්නේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රියන්ත ජයවර්ධන , මළල්ගොඩ සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම කැඳවන ලද අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සලකා බැලීමෙන් අනතුරුව එලෙස අවසර දුන්නේය.
මාතර ප්‍රදේශයේ පදිංචි ආබාධිත සෙබලකු වන කම්කානම්ගේ නිශාන්ත මිහිරාජ් විසින් මෙම පෙත්සම ගොනු කර ඇත.