අස්වැසුම ලක්ෂ 12කට දෙද්දී ලක්ෂ 14කගේ අස්වැසුම කපන්නේ කොහොමද?
අස්වැසුම ප්රතිලාභීන් ලක්ෂ 14කට ආසන්න පිරිසකගේ සහනාධාර අත්හිටුවා ඇති බවට පළවන මාධ්ය වාර්තා සම්පූර්ණයෙන්ම අසත්ය බව ග්රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්රජා සවිබලගැන්වීම් අමාත්ය ආචාර්ය උපාලි පන්නිල මහතා පවසයි.
දැනට අස්වැසුම ප්රතිලාභ ලබන සංඛ්යාව 1,206,000ක් පමණ වන බැවින්, ලක්ෂ 14ක පිරිසකගේ ප්රතිලාභ කපා හැර ඇති බවට පළවන වාර්තා ප්රායෝගිකව පවා සිදුවිය නොහැකි බව අමාත්යවරයා පෙන්වා දෙයි. අමාත්යවරයා මේ බව සඳහන් කළේ ඊයේ(29) අනුරාධපුර භික්ෂු විශ්වවිද්යාලයේදී පැවති “ප්රජා සවියට නව බලයක්” ජාතික වැඩසටහන පිළිබඳ සමෘද්ධි නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනට එක්වෙමිනි.
අස්වැසුම ප්රතිලාභීන් සම්බන්ධයෙන් සිදුකෙරෙන සමාලෝචනයේ පළමු අදියර යටතේ ප්රතිලාභීන් 991,000කගේ නාමලේඛනය ප්රකාශයට පත් කර ඇති අතර, දැනට එම අදියර යටතේ ප්රතිලාභ ලබන සංඛ්යාව 989,000ක් පමණ වේ. ඒ අනුව නව සමාලෝචනයෙන් ප්රතිලාභීන් 2,000ක පමණ වැඩිවීමක් පෙන්නුම් කරන බව ද අමාත්යවරයා පැවසීය.
දෙවන අදියර යටතේ සිටින ප්රතිලාභීන් 215,000ක පමණ පිරිස සම්බන්ධ සමාලෝචනය ලබන වසරේදී සිදු කිරීමට නියමිත අතර, එතෙක් ඔවුන්ට අඛණ්ඩව ප්රතිලාභ ලබාදෙන බව ද හෙතෙම සඳහන් කළේය.
එමෙන්ම පළමු අදියර යටතේ තවත් ප්රතිලාභීන් 740,000ක පමණ පිරිසක් සමාලෝචනය කිරීමට නියමිත බැවින්, ඉදිරියේදී අස්වැසුම ප්රතිලාභීන්ගේ සංඛ්යාව අඩුවීමක් වෙනුවට වැඩිවීමක් සිදුවිය හැකි බව ද අමාත්යවරයා අවධාරණය කළේය.
එබැවින් අස්වැසුම ප්රතිලාභ කපා හැර ඇති බවට පළවන අසත්ය හා නොමඟ යවන සුළු තොරතුරුවලට නොරැවටෙන ලෙස අමාත්යවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

