හිඟයකින් තොරව පාරිභෝගිකයන්ට ඉන්ධන ලබාදීමට අවශ්‍ය තොග ඉන්ධන සංචිත සතුව පවතින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
ගල්ෆ් කලාපයේ අර්බුදය හරහා ඉරානය සහ ඇමරිකාව අතර යුධ තත්ත්වයක් පැනනැගුනහොත්, ශ්‍රී ලංකාව තුළ ඉන්ධන සැපයුමට බලපෑමක් එල්ල වියහැකිද? යන්න පිළිබදව විශේෂ සාකච්ඡාවක්, අද (14දා) පෙරවරුවේ ඛනිජ තෙල් අමාත්‍යාංශයේදී පැවැත්විණි.
ප්‍රවාහන කලමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම සාකච්ඡාවේදී මේ සම්බන්ධයෙන් සමාලෝචනය කෙරුණ අතර කිසිදු හිඟයකින් තොරව ඉන්ධන සැපයුමට අවශ්‍ය පරිදි ඉන්ධන තොග පවතින බවත්, ඉදිරි කාලය තුළදී ඉන්ධන රැගත් නෞකා කිහිපයක් දිවයිනට පැමිණීමට නියමිත බවත්, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැහැදිළි කරනු ලැබීය.
ඒ අනුව දින 19 කට ප්‍රමාණවත් පරිදි ඉන්ධන තොග මේ වනවිට ඛනිජ තෙල් සංස්ථාව සතුව පවතී. එමෙන්ම මෙම මස 17 සහ 18 යන දෙදින තුළ ඉන්ධන ටොන් 16.000ක්ද, මෙම මස 24 සහ 25 දෙදින තුළ ඉන්ධන ටොන් 15,000 ක්ද රැගත් නෞකා දිවයිනට පැමිණීමට නියමිතය. එමෙන්ම යුධ ගැටුමක් ඇතිවුවහොත්, ගල්ෆ් කලාපය තුළ නාවික ගමනාගමනයට අපහසුතාවක් ඇතිවිය හැකි බැවින්, සිංගප්පූරුව සහ මැලේසියාවෙන් ඉන්ධන තොග ලබාගැනීමටද ලංකා ඛනිජ තෙල් සංස්ථාව මේ වනවිට සැලසුම් කර තිබේ.
එමෙන්ම හම්බන්තොට වරාය ආශ්‍රිතව පවතින ඉන්ධන ටොන් 71,000 ක් ගබඩාකර තබාගත හැකි ඉන්ධන ටැංකි, අමතර ඉන්ධන ධාරිතාවන් රඳවා ගැනීම සදහා භාවිත කරන ලෙස අමාත්‍යවරයා උපදෙස් දුන්නේය. දැනට එම ටැංකි සංකීර්ණය චීනය සතුවන අතර චීන බලධාරීන් සමග සාකච්ඡා කර අමතර ඉන්ධන තොග පිරවීම එම පාර්ශවය මගින් හෝ සිදු කිරීමට පියවර ගන්නා ලෙස දැනුම් දුන්නේය.
දැනට පවතින තොග අනුව පෙට්‍රල් 92 - ටොන් 47947 ක්, පෙට්‍රල් 95 - ටොන් 16,000 ක්, ලංකා ඔටෝ ඩීසල් - ටොන් 111957 ක්, සුපර් ඩීසල් - ටොන් 4463 ක්, ගුවන් යානා ඉන්ධන - ටොන් 38086ක්, දැවි තෙල් - ටොන් 70130 ක්ද වශයෙන් ගබඩා කර තිබේ.