ඔප්පුවක උකස අවලංගු කර, තවත් ඔප්පු හයකට අදාළ පත්ඉරු ලබාදීම සඳහා රුපියල් 4,000ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රත්නපුර හිටපු ඉඩම් රෙජිස්ට්රාර්වරයා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා නියම කළේය.
පැමිණිලිකරුගේ හා උපාය දූතයා ලෙස කටයුතු කළ අල්ලස් කොමිසමේ නිලධාරියාගේ සාක්ෂි එකිනෙකට පරස්පර බවත්, පැමිණිලිකරු විශ්වාසයකින් තොර සාක්ෂිකරුවෙකු බවත් තීරණය කළ විනිසුරුවරයා, එවැනි විශ්වාසයකින් තොර සාක්ෂිකරුවෙකුගේ සාක්ෂි කෙරෙහි විශ්වාසය තබා පුද්ගලයෙකු වරදකරුවෙකු කිරීමට නීතිමය හැකියාවක් නොමැති බවට තීරණය කරමින් විත්තිකාර රත්නපුර හිටපු ඉඩම් රෙජිස්ට්රාර්වරයා සියලු චෝදනාවලින් නිදොස් කර නිදහස් කළේය.
විත්තිකරුට එරෙහි චෝදනා අල්ලස් කොමිසම විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නොමැති බව සඳහන් කරමින් සිද්ධියෙන් වසර 14කට පසු මෙලෙස නිදොස් කර නිදහස් කරන ලද්දේ රත්නපුර ඉඩම් රෙජිස්ට්රාර් කාර්යාලයේ ඉඩම් රෙජිස්ට්රාර්වරයා ලෙස සේවය කළ බලංගොඩ රුක්අත්තන වෙලගේ පදිංචි කළුවහුම්පුරගේ සෝමපාල මහතාය.
2005 ඔක්තෝබර් මස 01 වැනිදා හා 21 වැනිදා අතර කාලයේ රත්නපුර ඉඩම් රෙජිස්ට්රාර් කාර්යාලයේ ඉඩම් හා අතිරේක දිස්ත්රික් රෙජිස්ට්රාර්වරයා ලෙස සේවය කරමින් සිටියදී නිල කාර්යයක් වන ඔප්පුවක උකස අවලංගු කර, තවත් ඔප්පු හයකට අදාළ පත්ඉරු ලබාදීම සඳහා පෙළඹවීමක් වශයෙන් කටුවන ආරච්චිගේ ගුණදාස නමැත්තාගෙන් රුපියල් 4,000ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීම ඇතුළු චෝදනා හයක් යටතේ විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසම විසින් නඩු පවරා තිබිණි.