දිය මත ලිස්සා යාමේ වැඩසටහන( surfing) ජාත්‍යන්තර වශයෙන් ප්‍රවර්ධනය කිරීම තුළින් අරුගම්බේ සංචාරක කලාපය කෙරෙහි ලොව පුරා සංචාරකයින්ගේ ආකර්ෂණය සහ අවධානය දිනාගැනීමේ වැඩසටහනක් ආරම්භ කෙරේ.
ඒ අනුව දිය මත ලිස්සා යාමේ පුහුණු සැසි පැවැත්වීම, දියමත ලිස්සා යාමේ තරඟ පැවැත්වීම සහ ඒ පිළිබඳව ලෝකය පුරා ප්‍රචාරණය කිරීම වැනි ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමෙන් අරුගම්බේ සංචාරක කලාපය පිළිබඳව දෙස් විදෙස් සංචාරකයින්ගේ අවධානය යොමු කර ගැනීමට අපේක්ෂා කෙරෙන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේය.
දිය මත ලිස්සා යාමේ වැඩසටහන් පවත්වන්නන් දිරිගැන්වීම සඳහා පුහුණු වැඩමුළු පැවැත්වීම ඇතුළු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම කෙරෙහිද රජයේ අවධානය යොමුකර ඇති අතර නව ප්‍රවර්ධන වැඩසටහන තුළින් එම ක්ෂේත්රයේ නියැලී සිටින පුද්ගලයින්ගේ ජීවන මට්ටම ඉහල නැංවීම මෙන්ම සමස්තයක් ලෙස ආරුගම්බේ සංචාරක කලාපය සංචාරකයින්ගෙන් බහුල කලාපයක් බවට පත්කිරීමට අපේක්ෂා කෙරෙන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේය.
කොවිඩ් වසංගතයෙන් ආරක්ෂිත කලාපයක් ලෙස ආරම්භ කෙරෙන ඉදිරි සංචාරක ප්‍රවර්ධන ක්‍රියාදාමය යටතේ අරුගම්බේ ප්‍රදේශය ලොව පුරා සංචාරකයින්ගේ ආකර්ශනය දිනාගත් ප්‍රමුඛතම ස්ථානයක් ලෙස සංවර්ධනය කෙරෙයි. නැගෙනහිර පළාතේ සංචාරක කර්මාන්තය සංවර්ධනය කිරීම උදෙසා රජය රුපියල් මිලියන 300ක මුදලක් වෙන් කොට ඇති අතර එහිදී ආරුගම්බේ සංචාරක කලාපයේ සංවර්ධනය කිරීම පිළිබඳව වැඩි අවධානයක් යොමු කර තිබේ.
නව සංචාරක කලාපයක් ලෙස ගැසට් කිරීමත් සමගම එම ප්‍රදේශයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා ආයතන ගණනාවක නියෝජිතයින්ගෙන් සමන්විත ඒකාබද්ධ කමිටුවක් පත්කොට තිබේ.