අයෝරා කටයුතුවලට අඛණ්ඩව සහාය දෙනවා
ඉන්දියානු සාගර කලාපීය සහයෝගීතා සංගමයේ (IORA) කටයුතු සඳහා අඛණ්ඩව සහාය ලබාදෙමින් කලාපීය සහයෝගීතාව ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාව කැපවී සිටින බව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවති IORA හි 25 වන අමාත්‍ය මණ්ඩල රැස්වීමට අද (27) සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
2023 සිට 2025 දක්වා ශ්‍රී ලංකාව සංගමයේ සභාපතිත්වය දැරූ කාලසීමාව තුළ අත්කරගත් ප්‍රගතිය පිළිබඳව අදහස් දැක්වූ අමාත්‍යවරයා, යුරෝපා සංගමය IORA හි 12 වන සංවාද හවුල්කරු ලෙස පිළිගැනීම, BIMSTEC වැනි කලාපීය සංවිධාන සමඟ සබඳතා ශක්තිමත් කිරීම සහ 2025 මැයි මාසයේදී සියලු සාමාජික රටවල එකඟතාවයෙන් කොළඹ ප්රකාශනය සම්මත කර ගැනීම ඇතුලු ප්‍රධාන ජයග්‍රහණ පෙන්වා දුන්නේය.
දේශගුණික විපර්යාස, සාගර දූෂණය සහ සමුද්‍රීය ආරක්ෂාව වැනි අභියෝගවලට මුහුණදීම සඳහා සාමාජික රටවල් අතර අඛණ්ඩ සාමූහික ක්රියාකාරීත්වයක අවශ්‍යතාව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.
2027 මාර්තු මාසයේදී IORA සංවිධානය සිය 30 වන සංවත්සරය සමරන බැවින්, එම දශක තුනක ගමන්මඟ සැමරීමේ හොඳම ක්‍රමය ජනතාවට ප්‍රතිඵල අත්විඳිය හැකි වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීම බව ද ඔහු සඳහන් කළේය.
එමෙන්ම, කොළඹ ප්රකාශනය මඟින් එකඟ වූ කැපවීම් තවදුරටත් ඉදිරියට ගෙන යාමට දිල්ලි ප්රකාශනය ඉවහල් වනු ඇතැයි අපේක්ෂා කරන බව පැවසූ අමාත්‍යවරයා, IORA ත්‍රිත්ව සභාපතිත්වයේ (Troika) සාමාජිකයෙකු ලෙස කලාපීය සහයෝගීතාව වෙනුවෙන් ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී කටයුතු කරන බව ද යළි අවධාරණය කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
