සංචාරක සිතියමකට නැවත ඇතුළත් කෙරුණු අනුරාධපුරය සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් වලට ඇතුළත් කරන්නැ‘යි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සංචාරක අමාත්‍යංශ බලධාරින්ට උපදෙස් දෙයි.
අනුරාධපුර නගරය සංචාරක සිතියමෙන් ඉවත් කෙරුණේ පසුගිය යුධ සමයේදී ය. ජය ශ්‍රී මහා බෝධියට, අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට කොටි ත්‍රස්තවාදින් ප්‍රහාර එල්ල කිරීමත් යුධ සමයේ අනුරාධපුර නගරය ප්‍රධාන හුවමාරු නගරයක් ලෙස පැවතීමත් හේතුවෙන් ශ්‍රී ලංකාවේ සංචාරක සිතියමෙන් එය ඉවත් කෙරුණි.
සංචාරක හෝටල් හිමියන් සමග අමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාවේ දි අනුරාධපුර හෝටල් හිමියන්ගේ සංගමයේ නියෝජිතයින් පෙන්වා දුන්නේ රටේ පවතින සාමකාමි වාතාවරණය තුළ අනුරාධපුරය නැවත සංචාරක සිතියමට ඇතුළත් කෙරුණ ද සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් වලදි අනුරාධපුරය නොසලකා හැර ඇති බවයි. වහාම එය නිවැරදි කරන ලෙස ඇමති ප්‍රසන්න රණතුංග මහතා සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල් චාන්දනී වේරපිටිය මහත්මියට උපදෙස් දුන්නේය.
මේ වසරේ මැයි මාසය වනවිට අනුරාධපුරයේ සංචාරක හෝටල් 26ක් බැංකුවලට සින්න වන බව අනුරාධපුර සංචාරක හෝටල් හිමියෝ මෙහිදි ඇමතිවරයාට පෙන්වා දුන්හ. සංචාරක ව්‍යාපාරය දිගින් දිගටම අඩාල වීම නිසා බැංකුවලින් ගත් ණය ගෙවා ගත නොහැකි විම ඊට හේතුව බවයි ඔවුන් පෙන්දෙන්නේ. ඇමති ප්‍රසන්න රණතුංග මහතා එහිදි කියාසිටියේ මේ තත්ත්වය පිළිබඳව රජයේ අවධානය යොමු කිරීමට අපේක්ෂා කරන බවයි. බැංකු වලට සින්න වීමට යන සංචාරක හෝටල් හා ඒවායේ ණය පිළිබඳව විස්තර තමාට ලබා දෙන ලෙසද ඇමතිවරයා එම සංගමයෙන් ඉල්ලා සිටියේ ය.
මෙම සාකච්ඡාවට අමාත්‍යංශ ලේකම් මරීනා මොහොමඩ්, සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල් චාන්දනි වේරපිටිය යන මහත්මීන් සහභාගි වුහ.