නිවස අස්පස් කරමින් සිටියදී හදිසියේ අතුරුදන් වු විසි හැවිරිදි තරුණියගේ සිරුර නිවසට කිලෝමීටර් භාගයක් පමණ දුරින් බෑවුමක පිහිටි දොළක තිබී අද (12) පෙරවරුවේ හමුවූ බව කල්තොට පොලීසිය පැවසුවේය.
කල්තොට පොලිස් වසමට අයත්, නවනැලිය, මොලමුරේ පදිංචිව සිටි භාග්‍යා සෙව්වන්දි සේනාධීර නැමැති විසි හැවිරිදි අවිවාහක තරුණියගේ සිරුර මෙසේ හමුවී තිබේ.
මෙම අතුරුදන් තරුණිය ඊයේ උදේ 10.30ට පමණ නිවසේ සිටි බව අසල්වාසීන් දැක ඇති බව පොලීසිය පවසයි. ඒ අවස්ථාවේ ඇය නිවසේ මුළුතැන්ගෙයි තිබූ භාජන සෝදා අස්පස් කරමින් සිටි ආකාරයක් පෙන්නුම් කරන බවද පොලීසිය පැවසුවේය.
ඇය අතුරුදන් වූ බවට සැකකරන කාල සීමාව තුළ නිවසේ තනියම සිටි බවට තොරතුරු ලැබුණ බවද පොලීසිය සඳහන් කළේය. ඇය නිවසේ නොමැති බව දැන ගැනීමෙන් පසු වටපිටාටේ සෑම තැනකම සොයා බැලූ නමුත් හෝඩුවාවක් දැන ගැනීමට නොලැබුණ බව කල්ගොට පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන් බවද පොලීසිය සඳහන් කළේය.
නිවස පිටුපස තද බෑවුම සහිත ලදු කැලෑවක් ඇති බවත් සිරුර හමුවී ඇත්තේ එම ලදු කැලෑවට ද කිලෝමීටර් භාගයක් පමණ දුර දිය පාරක තිබී බව පොලීසිය පැවසුවේය.
මෙය ස්වභාවිත මරණයක් ද මනුෂ්‍ය ඝාතනයක් යන පිළිබඳව මෙතෙක් කිව නොහැකි බව පැවසූ පොලීසිය මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබේ.