ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්පූර්ණයෙන්ම ප්‍රතිසංවිධානගත කිරීමට පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබේ.
ඉදිරි පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරගනිමින් ආසන මට්ටමින් මෙම ප්රතිසංවිධාන කටයුතු කිරීමට සැලසුම් කර තිබෙන අතර, මේ පිළිබඳ යෝජනාව පක්ෂයේ මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කර, සිදුකළ යුතු ප්රතිසංවිධාන මොනවාද යන්න අදහස් විමසීමක්ද සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිදුකර ඇත.
මධ්‍යම කාරක සභාවෙන් ලබාගත් අදහස් හා යෝජනා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇමෙරිකානු සංචාරය නිමවා ලංකාවට පැමිණි වහාම සමස්ත ලංකා කාරක සභාවට ඉදිරිපත් කිරිමට සැලසුම් කර තිබේ.
සමස්ත ලංකා කාරක සභාව තුළ මධ්‍යම කාරක සභාවෙන් ගත් තීන්දු තීරණ පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට නියමිත අතර, එම තීරණවලට අනුව ලබන මාසයේ සිටම අදාළ ප්රතිසංවිධාන කටයුතු ආරම්භ කිරීමට නියමිතය. එහිදි නිසිලෙස වගකීම් ඉටු නොකරන ආසන සංවිධායකවරුන් වෙනුවට නව ආසන සංවිධායකවරුන් පත්කිරීමටද නියමිත බව වාර්තා වේ.