‘‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා විය යුත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා බව මම මීට වසර දෙකකට පෙර ඇඹිලිපිටියේ දී කිව්වා. සමහර දේශපාලන ප්‍රබලයන් ඇතුළුව විවිධ පිරිස් ඊට එරෙහිව මාව විවේචනය කළා. එදා මට වැරදි ට්‍රැක් එකක යන්න වුණේ පක්ෂය නිසා. අද මම හරි ට්‍රැක් එකට ඇවිත් ඉන්නවා. දේශපාලන නායකයින්, පක්ෂ, සංවිධාන, පුද්ගලයින් ඇතුලු විශාල කණ්ඩායමක් අද ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ නායකත්වය බලාපොරොත්තු වෙනවා.’’ යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා ඊයේ (12දා) පැවසීය.
ඔහු මේ බව පැවසුවේ ගොඩකවෙල මහින්ද මහා විහාරයේ සමාධි බුද්ධ ප්‍රතිමාව නිරාවරණය කිරීමේ අවස්ථාවට එක් වෙමිනි. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා විය.
’‘ මට මතකයි මීට වසර දෙකකට ඉස්සර ඇඹිලිපිටියේ දී මේ වගේ රැස්වීමක් අමතන වෙලාවේ මම කිව්වා මම දැකපු අඩුවක් පුරවන ආකාරය. අපේ කන්දේ විහාරේ හාමුදුරුවොත් මේක පොඞ්ඩක් හැඳින්වුවා. මොකද මම වෙන ට්‍රැක් එකක නැත්නම් මාර්ගයක ගියා. දැන් ආයෙත් අවිල්ලා තියනවා. නමුත් මම වෙන ට්‍රැක් එකක ගියේ පක්ෂය නිසා. නැතුව පුද්ගලයෙක් හරහා ගියා නෙවෙයි. පක්ෂය තීන්දුවක් ගත්තා. පක්ෂය ගියා. මමත් ගියා. ඒක අර බෝට්ටුවේ නැගලා ඉන්න මිනිහා බෝට්ටුව යනකොට යන්නා වගේ තමයි මමත් ගියේ.
නමුත් මම ගියදා ඉඳලා පක්ෂය තුළ ලොකු සටනක් ගෙනිච්චා නැවත අපි එකතු වෙන්න ඕනෑ කියලා. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ නායකත්වය යටතේ අපි එකතුවෙලා ඉදිරියට යන්න ඕනෑ කියන සටන මම දිගින් දිගයටම ගෙනිච්ච බව කියන්න ඕනෑ. ඒ නිසා මාව විවේචනය වෙනවා. පක්ෂයේ සමහරු මට පහර දෙනවා. එවැනි අවස්ථාවකදී අපේ පක්ෂයේ නායකත්වය දෙන්න සුදුසු කෙනෙක් ඉන්නවා, ඒ තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියලා මම එදා ඇඹිලිපිටිය රැස්වීමේ දී ප්‍රකාශයට පත් කළා.
මේ කාරණයේදීත් මට නොයෙක් චෝදනා ආවා. අපේ පක්ෂයෙනුත් චෝදනා ආවා. නමුත් මා සමග පැය ගණන්, දවස් ගණන් විවාද කරපු අපේ පක්ෂයේ නායකයෝ අද පිළිගන්නවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා තමයි මේ රටේ අනාගත වගකීම බාරගන්නට අපේ පක්ෂයෙන් ඉදිරිපත් කළ යුතු සුදුස්සා කියන එක .’’
අජිත්ලාල් ශාන්තඋදය සහ කොලොන්න ජේ. නානායක්කාර