NO ජය පිළිගෙන YES ඇලෙක්ස් යන්න සැරසේ
ස්කොට්ලන්තය එක්සත් රාජධානියෙන් වෙන්වූ ස්වාධීන රාජ්‍යයක් බවට පත්කිරීමේ සටනේ මූලිකත්වය ගෙන කටයුතු කළ එරට ජාතික පක්ෂ නායක හා ප්‍රධාන අමාත්‍ය ඇලෙක්ස් සැල්මන්ඩ් සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව දැනුම්දී තිබේ.
පෙරේදා (18දා) පැවති ජනමත විචාරණයේදී ඔහු නියෝජනය කළ ස්කොට්ලන්තය වෙනම ස්වාධීන රාජ්‍යයක් විය යුතුය යන YES කණ්ඩායම පරාජයට පත්වීමත් සමග හෙතෙම මෙම තීරණය ගෙන තිබේ.
ඊයේ (19දා) නිකුත් කෙරුණු ජනමත විචාරණයේ ප්‍රතිඵලයට අනුව ස්කොට්ලන්තය වෙනම ස්වාධීන රාජ්‍යයක් බවට පත් විය යුතු බව එරට ඡන්දදායකයන්ගෙන් 45% කට ආසන්න පිරිසක් අනුමත කොට තිබුණත් 55% කට වැඩි ඡන්දදායකයන් පිරිසක් එක්සත් රාජධානියෙන් වෙන්වීම ප්‍රතික්ෂේප කර තිබුණි.
මෙම ජනමත විචාරණයේදී ස්කොට්ලන්ත වැසියන්ගෙන් 85% ක් සිය ඡන්දය භාවිත කොට තිබූ අතර එය වාර්තාගත ඡන්ද ප්‍රතිශතයක් බව එරටින් වාර්තා වෙයි.
මේ අතර, ධුරයෙන් ඉවත්වීමට තීරණය කළ ප්‍රධාන අමාත්‍යවරයා පවසා ඇත්තේ අනාගතයේදී ස්කොට්ලන්තය නිදහස් රාජ්‍යයක් බවට පත්විය යුතු බව ඡන්දදායකයන් විශාල පිරිසක් විශ්වාස කර ඇති බව මෙම ඡන්ද ප්‍රතිඵලයෙන් පිළිබිඹු වන බවයි.
එමෙන්ම, බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් පවසා ඇත්තේ ස්කොට්ලන්තයට නිදහස ලබාදීම පිළිබඳ විවාදය තවදුරටත් ඉදිරි පරම්පරා ගණනාවකට මතු විය හැකි බවයි.
කෙසේ වෙතත්, ජනමත විචාරණ ප්රචාරක ව්‍යාපාරයේදී බ්‍රිතාන්‍යයේ ප්‍රධාන දේශපාලන පක්ෂ තුන පොරොන්දු වූ ආකාරයටම ස්කොට්ලන්තයට පමණක් නොව, එංගලන්තය, වේල්සය හා උතුරු අයර්ලන්තයටද තවදුරටත් බලය විමධ්‍යගත කරන බවද අගමැති කැමරන් අවධාරණය කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

