රියූනියන් දූපතෙන් හමුවූ ගුවන් යානා පියාපත් කොටස MH370 යානයේ බවට මැලේසියානු අගමැති තහවුරු කිරීමත් සමග ප්‍රකෝප වූ යානයේ ගමන්ගත චීන මගීන්ගේ ඥාතීන් එම ගුවන් සමාගමේ කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණය කරන බව පැවසෙයි.
ඊයේ විශේෂ ප්‍රකාශයක් කළ මැලේසියානු අගමැති නජීබ් රසාක් මෙම යානා කොටස අතුරුදන් යානයේම බවට වඩාත් තහවුරුව කියා සිටියත්, ප්‍රංශ විශේෂඥයන් මෙය එම යානයේ කොටසක් බව බොහෝදුරට අනුමාන කළ හැකි යැයි පවසා සිටීම තුළ මෙසේ ඥාතීන් ප්‍රකෝප වී තිබේ.
මීට වසර එකහමාරකට පමණ පෙර මැලේසියාවේ ක්වාලලම්පූර් නුවර සිට චීනයේ බීජිං දක්වා ගමන් කරමින් සිටියදී මැලේසියානු ගුවන් සේවයට අයත් බෝයිං 777 වර්ගයේ යානය අතුරදන් විය.
එදාසිට යානය පිළිබඳ හෝඩුවාවන් සොයා ලොව එදාමෙදා සිදුකළ දැවැන්තම සෝදිසි මෙහෙයුම සිදුකළත් කිසිදු හෝඩුවාවක් හමු නොවීය.
අවසානයේ පසුගිය මස 27 වැනිදා ඉන්දියන් සාගරයේ පිහිටි ප්‍රංශයට අයත් රීයූනියන් දූපතට යානා පියාපත් කොටසක් ගොඩගැසීම තුළ මෙම යානය පිළිබඳ කතාබහ යළිත් ඇති විය.
ඒ අනුව, යානය සම්බන්ධයෙන් ප්‍රංශ, මැලේසියානු හා ඔස්ට්‍රේලියානු විශේෂඥයන් එක්ව පරීක්ෂණ සිදුකිරීමෙන් පසු මැලේසියානු අගමැතිවරයා රූපවාහිනිය හරහා විශේෂ ප්‍රකාශයක් කරමින් හමුවූ කොටස MH370 කොටසක් බව තහවුරු කළේ, මෙම යානයේ අතුරුදන් වීම කිසියම් ආකාරයක මිනිසා විසින් ඇති කළ අනතුරක ප්‍රතිඵලයක් බව නොකියා කියමිනි.