පුද්ගලයන් 239 දෙනෙකු සමග අතුරුදන් වූ මැලේසියානු ගුවන් සේවයට අයත් MH370 යානයේ කළු පෙට්ටියෙන් නැඟෙන සංඥා විය හැකි බවට විශ්වාස කෙරෙන හඬ සංඥාවක් (pings) දිනකට පසු නැවතත් සෝදිසි මෙහෙයුම්වලට නිරත කණ්ඩායමට ලැබී තිබේ.
සෝදිසි මෙහෙයුම් භාර ප්‍රධානියා පෙන්වා දෙන පරිදි මෙම සංඥාව ඕෂන් ෂීල්ඩ් ඔස්ට්‍රේලියානු යුද නෞකාවට ලැබී තිබුණි. මීට පෙර චීන නෞකාවකට අවස්ථා දෙකකදී ලැබුණු සංඥා සහ ඔස්ට්‍රේලියානු නෞකාවට ලැබුණු සංඥා පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකර ඇති බවද හෙතෙම පවසා සිටියේය. ඒ අනුව, එකී සංඥා විශේෂ ඉලෙක්ට්‍රොනික යන්ත්‍රයකින් පැමිණෙන සංඥා බවට තහවුරු කරගෙන ඇති බවද හෙතෙම අනාවරණය කළේය.
"මා විශ්වාස කරන ආකාරයට දැන් අප සෝදිසි මෙහෙයුම් සිදුකරමින් සිටින්නේ නිවැරදිම ඉසව්ව තුළයි." යනුවෙන් මෙම සොදිසි මෙහෙයුම සම්බන්ධීකරණය කරමින් එහි ප්‍රධානියා ලෙස කටයුතු කරන එයාර් චීෆ් මාර්ෂල් ඇන්ගස් හූස්ටන් පැවසීය.
"නමුත්, මේ සංඥා පැමිණෙන්නේ අතුරුදන් වූ MH370 යානයෙන්ම බව පැවසීමට අප ඉක්මන් වන්නේ නැහැ. මන්දයත්, මේ දත්ත මත පිහිටා යානයේ සුන්බුන් කොටසක් හෝ සොයා නොගෙන එය තහවුරු කළ යුතුයි" යනුවෙන් හෙතෙම වැඩිදුරටත් පැවසීය.
මැලේසියානු ගුවන් සේවයට අයත් MH370 යානය පසුගිය මාර්තු මාසයේ 08 වැනිදා මැලේසියාවේ ක්වාලලාම්පූර් නුවර සිට චීනයේ බෙයිජිං බලා ගමන් අරඹා පැයක පමණ කාලයකින් රේඩාර් තිරයෙන් මැකී ගියේය.
එදා සිට අද දක්වා යානය සෙවීම වෙනුවෙන් ලොව පුරා රටවල් රැසකගේ එකතුවෙන් දැවැන්ත මෙහෙයුමක් දියත් කෙරෙන අතර, එය ලෝක ඉතිහාසයේ දැවැන්තම හා වියදම් අධිකම සෝදිසි මෙහෙයුම බවට පත් වී අවසානය.
මේ අතර, රේඩාර් දත්තවලින් පැහැදිලි කරගත් තොරතුරුවලට අනුව යානය නැවත හැරවීමෙන් පසු එය මැලේසියාවට ඉහළින් ගමන් කළද, ඉන්දුනීසියානු රේඩාර් කලාපය මගහරිමින් දකුණුදිග ඉන්දීය සාගර කලාපය වෙත ගමන් කිරීම මේ වනවිට සැකයට බඳුන්ව ඇති කරුණකි. එය කිසිවෙකු විසින් හිතාමතා කළ දෙයක් විය හැකි බවට පරීක්ෂණ කණ්ඩායම් විශ්වාසය පළ කරති.
කෙසේ වෙතත්, MH370 යානය සොයා ගැනීම වඩාත් කඩිනම් කළ යුතුව ඇත්තේ එහි කළු පෙට්ටියේ නැගෙන සංඥාවලට අවශ්‍ය බැටරි බලය හීන වී යාමේ දින 30 කාලසීමාව මේ වනවිටත් පසුකර ඇති නිසාය. නමුත්, ගුවන්යානා විශේෂඥයන් පෙන්වා දෙන්නේ දින 30කින් පසුව වුවද යම් කාලයක් බැටරි බලය රඳා පැවතීමේ හැකියාවක් පැවතීමට පුළුවන් බවය.
ඒ අනුව, මේ ලැබෙන සංඥා අතුරුදන් වූ යානයෙන් ලැබෙන සංඥා නම් එය යම් හෝ සතුටුදායක ආරංචියක් බව නොකිවමනාය. නමුත්, ඒ සමගම ඇතිවන කණගාටුව නම් පුද්ගලයන් 239 දෙනෙකු මහ සයුරේ බියකරු ජල කඳක් මැද සිය අවසන් සුසුම හෙලන්නට ඇතිවා නොවේද යන ශෝකී පුවතය.