මැලේසියානු MH17 ගුවන් යානා අනතුර සිදුවූ කලාපයේ සාක්ෂි විනාශ කිරීම රුසියානු හිතවාදී කැරලිකරුවන් විසින් අරඹා ඇති බවට යුක්රේනය චෝදනා නඟයි.
ඔවුන් වැඩිදුරටත් කියා සිටින්නේ, රුසියානු රජයේ අනුග්‍රහය ලබන කැරලිකරුවන් අන්තර්ජාතික විශේෂඥයන් එම කලාපයට ඇතුළු වීම පවා වළක්වමින්, තමන්ගේම විශේෂඥයන් යොදා පරීක්ෂණ අරඹා ඇති බවයි.
දැනට විශ්වාස කෙරෙන්නේ බෝයිං 777 දරණ මෙම යානය පොළොවේ සිට ගුවනට එල්ල කරන ලද මිසයිල ප්‍රහාරයකට හසුව විනාශ වී ඇති බවයි. එය නැගෙනහිර යුක්රේනයේ රුසියානු හිතවාදී කැරලිකරුවන් පාලනය කරන ප්‍රදේශයකදී එල්ල වී ඇති නිසා චෝදනාව ඔවුන් වෙත එල්ල වීම වැඩි වී තිබේ.
පසුගිය බ්‍රහස්පතින්දා සිදුවූ මෙම ප්‍රහාරයෙන් යානයේ ගමන් ගත් 298ක් වූ සියලු දෙනා ජීවිතක්ෂයට පත්වූහ.
නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් සිට මැලේසියාවේ ක්වාලාලම්පූර් දක්වා ගමන්ගත් යානයේ ගමන් කර ජීවිතය අහිමි වූ පිරිසේ අලුත්ම වාර්තාවට අනුව නෙදර්ලන්ත ජාතිකයන් 192 දෙනෙක් ඒ අතර වෙති. (එක් අයෙකුට ද්විත්ව ඇමෙරිකානු පුරවැසිභාවයද හිමියි) මීට අමතරව මැලේසියානුවන් 44ක්, ඔස්ට්‍රේලියානුවන් 27ක්, ඉන්දුනීසියානුවන් 12ක්, බ්‍රිතාන්‍යයන්10ක් (ද්විත්ව දකුණු අප්‍රිකානු පුරවැසිභාවය හිමි අයෙකුද වෙයි), ජර්මානුවන් 4ක්, බෙල්ජියම් ජාතිකයන් 4ක්, පිලිපීන වැසියන් 3ක් සහ කැනඩා සහ නවසිලන්තයෙන් එක් පුද්ගලයෙකු බැගින් මෙම ඛේදවාචකය හේතුවෙන් ජීවිතයෙන් වන්දි ගෙවා ඇත.
මේ අතර, නිවේදනයක් නිකුත් කරන යුක්රේන රජය මෙම සිදුවීම ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස පෙන්වා දෙයි. එමෙන්ම, යානයෙන් විසිරුණු මළ සිරුරු 38ක් කැරලිකරුවන් විසින් ඔවුන්ගේ පාලනයේ පවතින ඩොනෙට්ස්ක් හි මෝචරි වෙත ගෙනයෑමද විවාදයට තුඩු දී තිබේ. ඉන් නොනැවතී යානයේ සුන්බුන් පවා රුසියාව වෙත ප්‍රවාහනය කිරීමට කැරලිකරුවන් කටයුතු කරන බවට යුක්රේන නිවේදනයෙන් චෝදනා කෙරෙයි.
මේ තත්ත්වය තුළ කැරලිකරුවන් එම ප්‍රදේශවලින් ඉවත්කර අන්තර්ජාතික විශේෂඥයන්ට ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට අවස්ථාව ලබාගැනීම සඳහා ජාත්‍යන්තර පීඩනය රුසියාව වෙත එල්ල කරන්න යැයි යුක්රේනය වැඩිදුරටත් එම නිවේදනයෙන් පෙන්වා දෙයි.
කෙසේ වෙතත් මේ අතර රුසියාව යුක්රේනය වෙත අභියෝගයක් එලල් කරමින් කියා සිටින්නේ මෙම අනතුර සිදුවූ අවස්ථාවේ යුක්රේන ගුවන්යානා නාශක ප්‍රති-මිසයිල පද්ධතිය හැසිරුණු ආකාරය පිළිබඳ සවිස්තර වාර්තාවක් ලබාදෙන ලෙසයි.
ඒ අනුව, රුසියාව හා යුක්රේනය මේ අනතුර සම්බන්ධයෙන් එකිනෙකාට ඇඟිල්ල දිගුකරමින් සිටිති.