ජනපති ජේ.ආර්. ජයවර්ධන මහතා වෙළෙඳ කලාප ඇතිකරමින් විදේශීය ආයෝජන රටට ගෙන ආ බවත්, ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයා රට තුළ ඇඟලුම් කර්මාන්ත ශාලා, විදේශීය හෝටල් ව්‍යාපාර ඇති කිරීම හරහා තරුණ තරුණියන්ට රැකියා අවස්ථා නිර්මාණය කළ අතර, චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිවරිය ඇඟලුම් හා හෝටල් ව්‍යාපාර හරහා ශ්‍රී ලංකාවේ අපනයන ආදායම වර්ධනය කළද පසුගිය වසර 10 තුළදී (මහින්ද රාජපක්ෂ ආණ්ඩුව) අපනයන කර්මාන්ත සඳහා අවධානය යොමු නොකළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ පැවැති දකුණු ආසියානු ඇඟලුම් හා රෙදිපිළි සැපයුම්කරුවන්ගේ ප්‍රදර්ශනය විවෘත කිරීමේ උත්සවයට අද (15දා) සහභාගි වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් දැක්වීය.
එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා,
“1977 වසරේදී ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා වෙළෙඳ කලාප ඇතිකරමින් විදේශීය ආයෝජකයන් මෙරටට ගෙන්වා ගෙන රැකියා බිහිකිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කළා. ඒ වගේම ආර්. ප්‍රේමදාස ජනාධිපතිතුමා යටතේ ඇඟලුම් කර්මාන්ත ශාලා 200 වැඩසටහනත්, විදේශීය හෝටල් ව්‍යාපාර මෙරට ඇතිකිරීමත් හරහා රට තුළ තරුණ තරුණියන් වෙනුවෙන් රැකියා අවස්ථා නිර්මාණය වුණා. චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියගේ කාලයේ මෙම ඇඟලුම් කර්මාන්තශාලා හා හෝටල් ව්‍යාපාර හරහා ශ්‍රී ලංකාවේ නිෂ්පාදන හා සේවා වැඩි කරමින් රටට ලැබෙන අපනයන ආදායම තවත් වර්ධනය කරගැනීමට අවශ්‍ය කටයුතු සිදුකළා.
නමුත් පසුගිය වසර 10 තුළ ශ්‍රී ලංකාවේ පාලකයන් රටේ අපනයන කර්මාන්තය වෙත අවධානය යොමුකළේ නැහැ. නමුත් රටේ රැකියා අවස්ථා බිහිවුණේ අපනයන කර්මාන්ත ශාලා හරහායි. කර්මාන්ත ශාලා ඉදිකරමින් අපනයනය ආර්ථිකයක් නිර්මාණය කර ගැනීමකින් තොරව රටකට සංවර්ධනය විය නොහැකියි.
නමුත් එය තේරුම් නොගත් පසුගිය වසර 10 තුළ රට පාලනය කළ පාලකයන් ශ්‍රී ලංකාවේ අපනයන නිෂ්පාදන ඉහළ දැමීමට හෝ කර්මාන්ත ශාලා ඇති කිරීමට කටයුතු කළේ නැහැ. යටිතල පහසුකම් සංවර්ධනය කළත් මහාමාර්ග, පාලම් ඉදිකළත්, ඒ කිසිවකින් වත් ස්ථිර රැකියා නිර්මාණය වුණේ නැහැ. ස්ථිර රැකියා බිහිකිරීමට නම් ලෝක වෙළෙඳ පොළත් සමග තරග කළ හැකි මට්ටමේ අපනයන කර්මාන්ත ශාලා ඇති කළ යුතුයි” යැයි සඳහන් කළේය.
ඡායාරූප ක්‍රිෂාන් රණසිංහ