උතුරුදිග ඉරාකයේ ISIS ඉස්ලාමීය අන්තවාදීන් විසින් ගොඩනගා ඇති ඉස්ලාමීය දේශයට එරෙහිව සටනට ඇමෙරිකාව සමග ඒකාබද්ධව වීමට ඉරාන ආධ්‍යාත්මික නායකයා අනුමැතිය ලබාදී ඇති බව බී.බී.සී.ය කියයි.
ටෙහෙරාන් නුවරින් ලැබෙන ආරංචි මාර්ග අනුව ඇමෙරිකානු, ඉරාක හා කුර්දිස්ථාන හමුදා සමග ඒකාබද්ධව මෙහෙයුම් දියත් කිරීමට එරට හමුදා නායකයා වෙත අයතුල්ලාහ් ඛමේනිගේ අනුමැතිය හිමිව තිබේ.
ෂියා මුස්ලිම්වරුන් මිත්යාලබ්ධිකයන් ලෙස සුන්නි මුස්ලිම්වරු සලකන නිසා ෂියා පාලනයක් සහිත ඉරානය ISIS ඉස්ලාමීය අන්තවාදීන්ගේ ඉස්ලාම් දේශය තමන්ට දැඩි තර්ජනයක් ලෙස සලකයි.
ඉරාකය තුළ සිදුකරන ඇමෙරිකානු මැදිහත් වීම් සම්බන්ධයෙන් සාම්ප්රදායිකවම ඉරානය විරුද්ධ මතයක සිටියද සුන්නි ඉස්ලාමීය අන්තවාදීන් අත පැවති අමෙර්ලි නගරය අත්පත්කර ගැනීම වෙනුවෙන් ඇමෙරිකානු, ඉරාක හා කුර්දිස්ථාන හමුදාවට අවශ්‍ය සහාය ඉරානයෙන් ලැබී ඇති බව මේ වනවිට වාර්තා ලැබෙයි.
ISIS ඉස්ලාමීය අන්තවාදීන් පසුගිය කාලය පුරා සිරියාවේ සහ උතුරුදිග ඉරාකරයේ දැවැන්ත කොටසක බලය අල්ලමින් තමන් ඉස්ලාමීය රාජ්‍යය පිහිට වූ බව පැවසීය.
ඒ අනුව, ඇමෙරිකානු ගුවන් ප්‍රහාර හමුවේ කුපිත වූ ඔවුන් ඇමෙරිකානු මාධ්‍යවේදීන් දෙදෙනෙකුගේ ගෙල සිඳ මරා දැමමින්, බ්‍රිතාන්‍ය ප්‍රාණ ඇපකරුවෙකුද පෙන්වමින් බ්‍රිතාන්‍යයටද අනතුරු ඇඟවීමක් කළේය.