ISIS ඉස්ලාමීය අන්තවාදීන්ට එරෙහිව හමුදා ප්‍රහාරයක් දියත් කිරීම සඳහා නේටෝ සන්ධානයක් ඇමෙරිකාව සමග එක්වන බව බරැක් ඔබාමා පවසයි.
වේලසයේ පැවති නේටෝ සමුළුව අමතමින් ජනාධිපති ඔබාමා පවසා සිටියේ ඉස්ලාමීය අන්තවාදීන් කොටුකර ගැනීම සඳහා ඉතා සාරවත් සන්ධානයක් ගොඩනංවාගත් බවයි.
මෙම නේටෝ සන්ධානයට ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, කැනඩාව, ඩෙන්මාර්කය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, පෝලන්තය සහ තුර්කිය යන රටවල් එක්ව සිටින බව ඇමෙරිකානු ආරක්ෂක ලේකම් චක් හේගල් පවසයි.
පසගිය මාස කිහිපය තුළ ඉරාකයේ සහ සිරියාවේ විශාල කොටසක් අත්පත් කරගත් ISIS ඉස්ලාමීය අන්තවාදීන් වෙත මේ වනවිටත් ඇමෙරිකානු ගුවන් ප්‍රහාර වරින් වර එල්ල වෙමින් පවතී.
එහිදී, ජනාධිපති ඔබාමා මෙන්ම රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ඉස්ලාලමීය අන්තවාදයට එරෙහි හමුදා ප්‍රහාරය වෙනුවෙන් තව තවත් රටවල් සම්බන්ධ කරගැනීමට කටයුතු කරමින් සිටියත්, මෙම මෙහෙයුම ගොඩබිමින් හමුදා යැවීමේ මෙහෙයුමක් නොවන බවද පවසා තිබුණි.
“ඔවුන් තවත් භූමිය අල්ලා ගැනීම වැළැක්වීමේ ප්‍රහාරයක් අප දියත් කළ යුතුයි. ඒ තුළින් ඉරාක හා සෙසු ආරක්ෂක හමුදාවන්ට අන්තවාදීන්ට එරෙහිව පෙළ ගැසීමට අවකාශය ලැබෙනවා. එසේ නොමැතිව, අපේ සොල්දාදුවන් ඒ භූමියට යැවීමක් සිදුවන්නෙ නෑ” යැයි කෙරී අවධාරණය කළේය.
මේ අතර, නැගී එමින් පවතින ඉස්ලාමීය අන්තවාදය සම්බන්ධයෙන් කඩිනම් පියවර ගැනීමේ බලකායක් පිහිටුවීමේ ක්රියාමාර්ගයකටද වේල්සයේදී රැස්වූ නේටෝ යුද හවුලේ නායකයෝ එකඟත්වය පළ කර තිබේ.
නේටෝ සංවිධානයේ මහ ලේකම් අන්ද්‍රේස් ෆොග් රස්මුසෙන් ප්‍රකාශ කළේ, කෙටි දැනුම්දීමක් අනුව රැඳවිය හැකි මෙම නව බලකාය දහස් ගණනක භටයන්ගෙන් සමන්විතව වනු ඇති බවය.
ඉස්ලාමීය අන්තවාදීන් ඇමෙරිකානු මාධ්‍යවේදීන් දෙදෙනෙකු ගෙල සිඳ ඝාතනය කිරීමත්, තවත් බ්‍රිතාන්‍ය ජාතිකයෙකු මරා දමන බවට තර්ජනය කිරීමත් යන ආසන්නතම සිදුවීම් තුළ නේටෝ සමුළුව තුළ ඉස්ලාමිය අන්තවාදයට එරෙහි දැවැන්ත හඬක් හා ඒකමතික තීරණවලට එළැඹීමක් දක්නට ලැබුණු බව විදෙස් මාධ්‍ය පවසයි.