ISIS සුන්නි ඉස්ලාමීය අන්තවාදීන් අතට පත්ව ඇති උතුරුදිග ඉරාකයේ, මොසුල් වේල්ල යළි අත්පත් කරගැනීම සඳහා සටන් වදින කුර්දිස්ථාන හමුදාවට ඇමෙරිකානු ගුවන් හමුදාවේ සහාය ලැබෙන බව විදෙස් පුවත් සේවා පවසයි.
ඒ අනුව, ඉරාකයේ විශාලතම වේල්ල ලෙස සැලකෙන මොසුල් වේල්ල යළි අත්පත් කරගැනීමේ සටන අද අරඹමින් ඇමෙරිකානු ගුවන් හමුදාවේ එෆ්-18 යානා හා ඩ්‍රෝන යානා යොදා ගනිමින් අන්තවාදීන් වෙත දැඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.
එසේ ඇමෙරිකානු ගුවන් ප්‍රහාර යන අතුරතුර කුර්දිස්ථාන හමුදාව විසින් අන්තවාදීන් වෙත දැවැන්ත කාලතුවක්කු ප්‍රහාරයක් එල්ල කර ඇති අතර, ගොඩබිම් ප්‍රහාර සම්බන්ධයෙන් නිල වාර්තාවන් තවමත් නොලැබී ඇති බවද කියැවෙයි.
බී.බී.සී. පුවත් සේවය පෙන්වා දෙන පරිදි මෙම ප්‍රහාරවලින් සුන්නි අන්තවාදීන් 11 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව කියවුණත්, ඔවුන්ට සිදුව ඇති හානිය මීට වඩා වැඩිවිය හැකි බවද වාර්තා වෙයි.
සුන්නි අන්තවාදීන් විසින් ඉරාකයේ සුළුතර ක්‍රිස්තියානි ජාතිකයන් වෙත ම්ලේච්ඡ ප්‍රහාර එල්ල කරමින්, ඔවුන් පලවා හැරීමත් සමග ඇමෙරිකාව ප්රමුඛ බටහිර ඔවුන් වෙත ගුවන් ප්‍රහාර එල්ල කිරීම හා සාමාන්‍ය ජනතාව බේරාගැනීමේ මෙහෙයුම් ආරම්භ කළේය.