ජී.එස්.පී ප්ලස් සහනය නැවත ශ්‍රී ලංකාවට ලබාදීමට ජර්මනිය මූලිකත්වය ගෙන කටයුතු කරන බවට ශ්‍රී ලංකාවට පැමිණ සිටින ජර්මානු විදේශ අමාත්‍ය ෆ්රෑන්ක් වෝල්ටර් ස්ටේන්මියර් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පොරොන්දු වී තිබේ.
ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට පැමිණ සිටින ජර්මානු විදේශ අමාත්‍යවරයා ඊයේ (22දා) සවස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වූ අවස්ථාවේ මේ බව සඳහන් කර ඇත.
මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ජර්මනියේ නිල සංචාරයක් සඳහා පැමිණෙන ලෙසට ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කල් මහත්මිය ආරාධනාවක් කරන බවට ජර්මන් විදේශ කටයුතු අමාත්‍යවරයා ජනාධිපතිවරයාට දන්වා තිබෙන අතර, එම ආරාධනාව පිළිගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විදේශ කටයුතු අමාත්‍යවරයාට පවසා තිබේ.
මෙහිදී ජර්මානු ආයෝජකයන්ට ශ්‍රී ලංකාව තුළ ආයෝජනයට ආරාධනා කර තිබෙන අතර, ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබාදෙන බවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විදේශ කටයුතු අමාත්‍යවරයාට පවසා තිබේ.