පුද්ගලයන් 239 දෙනෙකු සමග අතුරුදන් වූ මැලේසියානු ගුවන් සේවයට අයත් MH370 ගුවන් යානය හා ගුවන්ගමන් පාලක මැදිරිය අතර අවසන් වරට සිදුවූ සන්නිවේදනය 'සියල්ල හොඳින්, සුබ රාත්‍රියක්' නොවන බවත්, එය 'සුබ රාත්‍රියක් මැලේසියානු තුන්සිය හැත්තෑව' බවත් තහවුරු වී ඇතැයි මැලේසියානු බලධාරීහු දැන් පවසති.
මීට පෙර මැලේසියානු බලධාරීන් විසින් කියා සිටියේ MH370 යානයෙන් අවසන් වරට ලැබුණු පණිවුඩය 'සියල්ල හොඳින්, සුබ රාත්‍රියක්' (all right, good night) බවයි. ඒ අනුව, මේ වනවිට අබිරහස් ලෙස අතුරුදන් වූ මැලේසියානු යානයේ අවසන් පණිවුඩය පිළිබඳවද බොහෝ දෙනා තුළ කුතුහලයක් ඇති වී තිබේ.
කෙසේ වෙතත්, 'සුබ රාත්‍රියක් මැලේසියානු තුන්සිය හැත්තෑව' (Good night Malaysian three seven zero) පිළිබඳව කරුණු අනාවරණය කළ එරට ප්‍රවාහන අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙම අවසන් පණිවුඩය ලබාදෙන ලද්දේ යානයේ කපිතාන්වරයාද, නැත්නම් එහි සහායක නියමුවාද යන්න පිළිබඳ තහවුරු කරගැනීම සඳහා විශේෂ විමර්ෂණයක් ආරම්භ කර ඇති බවය.
පසුගිය මාර්තු 8 වැනිදා මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට චීනයේ බෙයිජිං බලා ගමන් කරමින් සිටියදී MH370 යානයේ අවසන් සම්බන්ධතාව පැවතියේ මැලේසියානු වේලාවෙන් අළුයම 1.19 වන තුරු පමණි.
කෙසේ වෙතත්, මේ ආකාරයෙන් විටින් විට විවිධ තොරතුරු ගෙනහැර පෑම හේතුවෙන් යානයේ ගමන්ගත් මගීන්ගේ ඥාතීන් මෙන්ම මෙම සිදුවීම දෙස බලා සිටින ලෝකයම බලවත් විමතියකට පත්ව ඇති බව නොරහසකි.
මේ අතර, ඊයේ උදෑසන ඔස්ට්‍රේලියානු අගමැති ටෝන් ඇබොට් පවසා සිටියේ, පුද්ගලයන් 239 දෙනෙකු සමග අතුරුදන් වූ මැලේසියානු ගුවන් යානය සොයා මෙහෙයුම් සිදුකරන සෝදිසි කණ්ඩායම් ඒ සඳහා නිශ්චිත කාලසීමාවක් දක්වා නොමැති බවය.
MH370 යානයේ සෝදිසි මෙහෙයුම්වල සම්බන්ධීකරණයන් සිදුවන ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර සිට මාධ්‍ය ඇමතූ අගමැතිවරයා, යානය සොයා සිදුකරන මෙහෙයුම් තවදුරටත් කඩිනම් කරන ලද බවද පවසා සිටියේය.