නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලේ පාලක මණ්ඩලයට දුම්කොළ සමාගමක අධ්‍යක්ෂවරයෙකු පත් කර ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ප්‍රකාශ කළ ද, එම පුද්ගලයා වරලත් ගණකාධිවරයෙකු මෙන්ම, අග්‍රාමාත්‍යවරයාගේ උපදේශකවරයෙකු ලෙස ද කටයුතු කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අග්‍රාමාත්‍යවරයා සමග පසුගියදා සාකච්ඡා පවත්වන අවස්ථාවේ දී සම්බන්ධීකරණ කටයුතු සිදු කරනු ලැබුයේ ද මෙම පුද්ගලයා විසිනි. ඒ බව එම සාකච්ඡාවට සහභාගි වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා සහ ලේකම්වරයා හොදින්ම දන්නා කරුණකි. එවැනි සහයෝගයක් ලබාදුන් පුද්ගලයෙකුට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය චෝදනා කිරීම වැරදි සහගත බවත් ඒ මහතා පවසයි.
තම කර්තව්‍යය අවසන් වූ පසු සහයෝගය දැක් වූ පුද්ගලයාට විවේචන එල්ල කිරීම වෘත්තීය සමිතියක ලක්ෂණයක් නොවෙයි. එය දේශපාලන වෘත්තීය සමිතියක ලක්ෂණයකි. දුම්කොල සමාගමට එරෙහිව රජය ප්‍රතිපත්තිමය තීරණයකට එළඹ ඇතැයි ද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කර සිටියේය.