සේවක අර්ථසාධක අරමුදලින් (EPF) 30% ක මුදලක් ලබාගැනීම සඳහා මේ වනවිට අයදුම්පත් 12,000ක් පමණ කම්කරු දෙපාර්තමේන්තුව වෙත ලැබී තිබේ.
කම්කරු අමාත්‍යාංශ ලේකම් හේරත් යාපා මහතාගෙන් 'අද' කළ විමසීමකදී ඔහු පවසා සිටියේ, අර්ථ සාධක අරමුදලේ සේවා කාලය වසර 10ක් සම්පූර්ණ කර ඇති සාමාජිකයන්ට, එම අරමුදලින් 30%ක මුදලක් ලබාගැනීමේ වැඩපිළිවෙළ ආරම්භ කළ පසුගිය මැයි 27 වැනිදා සිට මේ දක්වා අයදුම්පත් 12,000ක් පමණ කම්කරු දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති බවයි.
අරමුදලේ සාමාජිකයන් ලක්ෂ 6කට අධික පිරිසක් මේ සඳහා ඉල්ලුම් කරමින් අයදුම්පත් ලබාදෙනු ඇති බව කම්කරු අමාත්‍යාංශයේ පුරෝකථනය විය.
මේ තුළින් සේවක අර්ථ සාධක අරමුදලේ තම ශේෂයෙන් 30% ක් වයස අවුරුදු 55 සම්පූර්ණවීමට පෙර ලබාගැනීමේ පහසුකම එම අරමුදලේ සාමාජිකයන්ට උදාවන අතර සේවක අර්ථසාධක අරමුදලේ රු.ලක්ෂ 3 කට වැඩි ශේෂයක් පවතින සාමාජිකයන්ට මෙම පහසුකම ලබාගත හැකි වේ.
මෙතෙක් පැවති රෙගුලාසිවලට අනුව විවාහයකදී කාන්තාවකටත්, සෞඛ්‍ය හේතු මත දැඩි දුබලතාවකට පත්වූවෙකුටත්, ස්ථිර පදිංචියට රට හැර යන්නෙකුටත් හැර වෙනත් පුද්ගලයෙකුට වයස අවුරුදු 55 සම්පූර්ණ වනතෙක් සේවක අර්ථසාධක අරමුදලෙන් මුදල් ලබාගැනීමට නොහැකි විය.
අදාල මුදල ලබාදෙන්නේ ණයක් ලෙස නොවන අතර, ලබාදෙන මුදල ගිණුමේ ශේෂයෙන් අඩුවන බවද රුපියල් මිලියන දෙකක් නොඉක්මවන මුදලක් මෙසේ ලබා ගත හැකි බවද අමාත්‍යාංශය පවසයි.
නිවාස කාර්යය සඳහා 30%ප්රතිලාභ ලබාගත හැකි අවස්ථා ලෙස, සාමාජිකයාට අයත් ඉඩමක නිවසක් ඉදිකිරීම, නිවාසයක් ඉදිකිරීමට ඉඩමක් මිලදී ගැනීම, නිවාස දේපළක් මිලදී ගැනීම, නිවාස දේපළක් මත ඇති උකසක් බේරුම් කිරීම, අනුමත බැංකුවකින් ලබාගත් නිවාස ණයක ඉතිරි මුදල බේරුම් කිරීම වේ.
වෛද්‍ය ප්‍රතිකාර සඳහා 30% ප්රතිලාභ ලබාගත් හැකි අවස්ථා ලෙස, බයිපාස් නොවන හෘද සැත්කම, බයිපාස් සැත්කම, සැත්කම ඇතුළුව පිළිකා සඳහා ප්‍රතිකාර, වකුගඩු බද්ධ කිරීම් හෝ සැත්කම්, සිසේරියන් සැත්කම හෝ අනතුරක් සිදුවීම හේතු කොටගෙන දින දාහතරකට නොඅඩු කාලයක් රෝහල් ගතකිරීම ආදිය වේ.