වර්තමාන දරුවන්ගේ ආරක්ෂාව බරපතළ ලෙස බිඳී වැටී ඇති බවත් මෙම තත්ත්වය වෙනස් කිරීමට නව නීතිරීති පැනවීම, පවත්නා නීති බලාත්මක කිරීම හෝ සංශෝධනය කිරීම වහා කළ යුතු බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ළමා දින පණිඩුඩය නිකුත් කරමින් පවසයි.
එහි මෙසේද දැක්වෙයි,
ජන සමාජයක් හෝ රටක් ඉහළ පිළිගැනීමකට ලක්වන්නේ එරට වැසියන් සහ සමාජය දරුවන් කෙරෙහි දක්වන ආදරය සහ සැලකිල්ල තුළිනි. මානව සදාචාරයේ විශිෂ්ටතම ගුණාංග වන්නේ දරුවන්ට ආදරයෙන් සැලකීමය. ලෝකයේ වඩාත්ම යහපත් දේ අයිති දරුවන්ටය නම් කියමන ජනගත වන්නේද එකී ආකල්පය ඔස්සේය.
සමස්තයක් ලෙස රටම දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කොන්දේසි රහිතව බැඳී සිටී. එසේ මුත් වර්තමානයේ දරුවන්ගේ ආරක්ෂාව බරපතළ ලෙස බිඳී වැටී ඇති බව අසන්නට දකින්නට ලැබෙන පුවත් ඇසුරෙන් සනාථ වේ. මෙම තත්ත්වය නිසැකවම වෙනස් කළ යුතු වන අතර, ඒ සඳහා නව නීතිරීති පැනවීම, පවත්නා නීති බලාත්මක කිරීම හෝ සංශෝධනය කිරීම වහා කළ යුතුව තිබේ.
එසේම මවුපියන් වැඩිහිටියන් ඇතුළු මුළුමහත් සමාජයම දරුවන් වෙනුවෙන් පුළුල් ලෙස කැපවී, පවත්නා අවසානාවන්ත තත්ත්වයෙන් දරුවන් මුදාගත යුතුවේ. රජය දැනටමත් අවශ්‍ය සුදුසු පියවර ගෙන ඇති අතර, එයට සමගාමීව සමාජයද, සවිඥානිකව මෙම ඛේදවාචකය අවසන් කර ගන්නට පෙළගැසිය යුතුව තිබේ.
දරුවන් පිළිබඳ නිරන්තර අවධානය සෑමවිටම දරුවාගේ ආරක්ෂාව පිළිබඳ නියත සහතිකයක් බවද එසේ නොවන හැම මොහොතම දරුවාගේ අනාරක්ෂිත බවට සහ තවත් විපතකට අත වැනීමක් බවද අප දෙගුරුන් ලෙසින් වටහා ගත යුතුය.
එසේම ලෝක ළමා දිනය සමරමින් දරුවන් පිළිබඳ වෙන් කෙරෙන එක් දින උලෙළකට සීමා නොවී වසරේ සෑම දවසක්ම හැම මොහොතක්ම දරුවන් වෙනුවෙන් කැපකරන්නේ නම් දරුවන්ට ඔවුන් පතන ජීවිතය සුරක්ෂිතව පවතිනු ඇත.
'ළමා මිතුරු පරිසරයක් - ලොව බබළන සොඳුරු දැයක්' තේමාව යටතේ මෙවර පැවැත්වෙන ලෝක ළමා දින සැමරුමට මාගේ උණුසුම් සුභපැතුම් පිරිනමමි.