තවදුරටත් හොරුන්ට මෛත්රිය කළහොත් සිදුවන්නේ ඔවුන් හොරකම් කරන එක බවත් ඒ නිසා මහජන ධනය ගසා කෑ දේශපාලඥයන් අත්අඩංගුවට ගැනීමට වත්මන් රජය ක්රියා නොකරන්නේ නම් අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව ඉදිරිපිටදී මාරාන්තික උපවාසයක් ආරම්භ කරන බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක මහතා 'අද' පුවත්පතට සඳහන් කළේය.
ජනාධිපතිවරණ පොදු අපේක්ෂක මෛත්රීපාල සිරිසේන මහතා ජයග්රහණය කිරීමෙන් අනතුරුව මසක් තුළදී දූෂිත දේශපාලඥයන් අත්අඩංගුවට ගන්නා බවට පොදු අපේක්ෂක පර්ශ්වය සහතික වූ අතර, එකී පොරොන්දුව ඉටුකිරීම පිණිස හෙතෙම මෙම තීරණය ගෙන ඇත.
අල්ලස් හෝ දූෂණ කොමිසමේ සභාපතිවරයා සම්බන්ධයෙන් තමන් තුළ කිසිදු විශ්වාසයක් නොමැති බවත් පළමුව අල්ලස් කොමිසමේ සභාපතිවරයා ඉන් ඉවත් කළ යුතු බවත් රාමනායක මහතා අවධාරණය කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රන්ජන් රාමනායක මන්ත්රීවරයා,
'අල්ලස්, දූෂණ ගැන කතා කරන්න දැන් අලුතෙන් වීරයෝ හා චණ්ඩි බිහිවෙලා. නමුත් මේ දේශපාලඥයන් දූෂිතයි කියලා මම කිව්වේ 2006 සිටයි. මම එය ප්රකාශ කළේ විශාල අවදානමක් අරන්. 1994 ජනාධිපතිවරණය චන්ද්රිකා මැතිනිය ජය අරන් දූෂිතයන් 'ගෝල්ෆේස්' එකට ගෙනත් දඬුවම් කරනවා කීවට ඇයට එය කළ නොහැකි වුණා. දැන් මහීපාල පවුල එක්කම රට පැන්නා, චොකා මල්ලි රට පනින්න ඔන්න මෙන්න ඉද්දි අල්ල ගත්තා. මිලියන 500 ක් අරන් පැති මාරු කළ බව කී, පසුව ජනාධිපතිතුමාගේ අත්සන හොරට ගැසුව තිස්ස අත්තනායක රට පැන්නා. මම කියන්නේ කළුතර හිටපු ඇමති කෙනෙකුගේ නඩුවක් අස්ථානගත කළ අල්ලස් කොමිසමේ සභාපති ඉවත් කළ යුතුයි.
ඊට පසුව කී දේ කරමින් දූෂිතයන්ට දඬුවම් කළ යුතුයි. කිසිම ආගමක කියා නැහැ හොරුන්ට මෛත්රී කරන්න කියා හොරුන්ට මෛත්රී කළොත් වෙන්නේ උන් තව හොරකම් කරන එකයි* යැයි පවසා සිටියේය.