පුද්ගලයන් 239 දෙනෙකු සමග පසුගිය සෙනසුරාදා අතුරුදන් වූ මැලේසියානු ගුවන් යානයේ සොරකම් කරන ලද ගුවන්ගමන් බලපත්‍ර යොදාගනිමින් ගමන්ගත් පුද්ගලයාගේ ත්‍රස්තවාදී සබඳතාවක් නොමැති බව විශ්වාස කළ හැකි යැයි මැලේසියානු පොලීසිය කියයි.
19 හැවිරිදි පෝරියා නෝර් මුහම්මද් මෙහර්දාද් ජර්මනිය වෙත සංක්‍රමණයට වීමට උත්සාහ කළා යැයි විශ්වාස කෙරෙන බව පොලීසිය කියයි. කෙසේ වෙතත්, ව්‍යාජ ගුවන්ගමන් බලපත්‍රයකින් ගමන්ගත් දෙවැනි පුද්ගලයා පිළිබඳ පරීක්ෂණ තවදුරටත් සිදුවන බවද පොලීසිය අවධාරණය කරයි.
මේ අතර යානය අතුරුදන් වීමට පෙර සැලසුම් කළ ගමන් මාර්ගයෙන් බටහිරට හරවා කිලෝ මීටර් සිය ගණනක් එය ගමන් කර ඇති බවට මේ වනවිට හමුදා රේඩාර් පද්ධතියකින් සොයාගෙන තිබේ.
මැලේසියානු ගුවන්සමාගමට අයත් එම්.එච්.370 දරණ බෝයිං 777 යානය මැලේසියාවේ ක්වාලලාම්පූර් සිට චීනයේ බෙයිජිං බලා ගමන් කරමින් සිටියදී පසුගිය සෙනසුරාදා පුද්ගලයන් 239 දෙනෙකු සමග අතුරුදන් විය. එම ගුවන්යානය සෙවීමේ මෙහෙයුම් මේ වනවිට තවදුරටත් පුළුල් කර ඇති අතර, රටවල් කිහිපයක නෞකා හා ගුවන්යානා රැසක් දිවා රෑ නොබලා මෙහෙයුම් සිදුකරයි.
විශේෂඥයන් පෙන්වා දෙන්නේ මේ ආකාරයෙන් ව්‍යාජ ගුවන්ගමන් බලපත්‍රවලින් පුද්ගලයන් ගමන් ගැනීම ආරක්ෂාවේ හිදැසක් බවයි. නමුත්, නීතිවිරෝධී සංක්‍රමණයන්ගේ කේන්ද්‍රස්ථානයක් ලෙස සැලකෙන මැලේසියාවේ මෙවැනි තත්ත්වයන් සාමාන්‍ය සිදුවීම් බවද කියැවෙයි.
මැලේසියානු පොලිස්පති ඛලීඩ් අබු බකර් පවසන්නේ මෙම තරුණ ඉරාන ජාතිකයා ත්‍රස්තවාදී සංවිධානයක සාමාජිකයෙකු යැයි විශ්වාස කළ නොහැකි බවයි. එමෙන්ම, ආරක්ෂක අංශ මේ වනවිටත් ජර්මනියේ සිටින ඔහුගේ මව සම්බන්ධ කරගැනීමට සමත්ව ඇති බවත්, ඇය තම පුතා පැමිණෙන තුරු ෆ්රැන්ක්ෆර්ට් ගුවන්තොටු පොළේ රැඳී සිට ඇති බවත් කියැවෙයි.
මේ අතර, එම ඉරාන තරුණයාගේ මිත්‍රයෙකු පවසා ඇත්තේ, ඔහු සමග සොරකම් කරනලද ගුවන්ගමන් බලපත්‍රයෙන් ගමන්ගත් දෙවැන්නාද ඔහුගේම මිත්‍රයෙකු බවයි. ඔහුද, පෙරකී තරුණයා සමග යුරෝපයට සංක්‍රමණය වීමේ බලාපොරොත්තුවෙන් මෙසේ ගමන් කර ඇති බව හෙතෙම පවසා තිබේ.
මේ තත්ත්වය තුළ ගුවන් යානයට සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳ උභතෝකෝටිකය තවදුරටත් ව්‍යාකූල වී ඇති බව මැලේසියාවෙන් වාර්තා වෙයි.