රටේ ඒකීයභාවය වෙනුවෙන් මාරාන්තික උපවාසයක යෙදී රටේ සුරක්ෂිතභාවය තහවුරු කළ පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් වැනි සංඝයා වහන්සේලා හා ගිහි පිරිස සිටින ජාතික හෙළ උරුමයද පාර්ශ්වකරුවෙකු වන මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාලනයක් යටතේ ශ්‍රී ලංකාවේ ඒකීයභාවය, භෞමික අඛණ්ඩතාව සුරක්ෂිත වන බව තහවුරු වන්නේ යැයි මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියෝ ප්‍රකාශ කරති.
ජාතික හෙළ උරුමයේ නායක පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් හා මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ඊයේ (04දා) පෙරවරුවේ මල්වතු මහානාහිමියන් මුණගැසුණු අවස්ථාවේදී උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළහ.
රටේ ඒකීයභාවය සුරැකීමට හා ත්‍රස්තවාදය මර්දනය කිරීමට දායක වන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශපාලන පක්ෂය වන්නේ ජාතික හෙළ උරුමය බව කියා සිටි මහානායක හිමියෝ, වෙනත් කිසිදු පාර්ශ්වයකට වඩා රටේ ඒකීයභාවය සුරැකීම සම්බන්ධයෙන් එම පක්ෂය ගැන විශ්වාසය තැබිය හැකි බවද ප්‍රකාශ කළහ.
මෙහිදී අදහස් දැක්වූ පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් සඳහන් කළේ, මෛත්‍රී පාලනයක් යටතේ රටේ ජාතික ආරක්ෂාව සුරක්ෂිත වන බවත්, ඒකීය රාජ්‍ය සංකල්පය, ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාව සුරක්ෂිත කිරීමට එහිදී පියවර ගන්නා බවත්ය.
මෛත්‍රී පාලනයක් යටතේ සිදුකෙරෙන ව්‍යවස්ථා සංශෝධනයකින් රටේ නම, ඒකීයභාවය, ජාතික කොඩිය, ජාතික ගීය, ජාතික දිනය, ජනරජයක් බව ආදිය වෙනස් නොවන බවත්, බෞද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබාදී සෙසු සියලුම ආගම් ඇදහීමට ඇති අයිතිය ආරක්ෂා කරන බවත් සෝභිත හිමියෝ මෙහිදී පොරොන්දු වූහ.
පාඨලී රණවක මහතා මෙහිදී සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ ප්‍රහාර රැසකට සම්බන්ධ පුපුරණ ද්‍රව්‍ය ගෙන්වූ, බෙදාහරින ලද තස්ත්‍රවාදීන් රජයේ ආරක්ෂාව යටතේ සිටියද, මෛත්‍රී පාලනයක් යටතේ කේ.පී. ඇතුළු තස්ත්රයන් සියලු දෙනාට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බවයි.