මාතලේ සන්ධාන කණ්ඩායමේ අපේක්ෂකයකුගේ හා තවත් පිරිසක් නාවුල සන්ධාන රැලියේදී තමාට හූ කියූ බව තමා දැනගත් බව සංස්කෘතික හා කලා රාජ්‍ය ඇමැති නන්දිමිත්ර ඒකනායක මහතා මාධ්‍ය හමුවක් අමතමින් අද (27දා) ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.
“ඊයේ නාවුල පැවැත්වුණේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන රැස්වීම. අපේ මැතිවරණ මෙහෙයුම් නායක මහින්ද රාජපක්ෂ මහතාත් එයට සහභාගී වුණා. අපේම අපේක්ෂකයන් කිහිපදෙනෙක් මට විරුද්ධව වැඩපිළිවෙළක් සංවිධානය කරන බව දැනගැනීමට ලැබුණා. ඒත් මම රැස්වීමට සහභාගීවුණා. මම රැස්වීමට සහභාගීවුණෙ සත්භාවයෙන්. හු කියන්න දාලා තිබුණු මිනිස්සු ළඟටත් මයික් දාලා තිබුණා. මෙය පෙර සූදානමකින් කරපු දෙයක්.
එය මට වෙස්වලා ගත් ආශීර්වාදයක් වුණා. මෙයින් අපහාස වුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට. පැරණි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ මේ සිද්ධියෙන් කනගාටු වෙලා තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ මිනිස්සුත් මට කතා කරලා කනගාටු වුණා. පක්ෂ විපක්ෂ දෙපිරිසම මට ආශීර්වාද කරනවා. ඒ හැමෝටම මම ස්තුතිවන්ත වෙනවා.”