හිලරි ක්ලින්ටන් ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරිය ලෙස කටයුතු කරමින් සිටි අවධියේදී පෞද්ගලික ඊමේල් ගිණුමක් පාවිච්චි කිරීම සම්බන්ධයෙන් ඇයට එරෙහිව අපරාධ චෝදනා ගොනු නොකරන බව FBI ආයතනය පවසයි.
එහිදී, ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂිකාවට එරෙහිව නඩු පැවරීමට තරම් තත්ත්වයක් නොවූවත්, අතිශය රහසිගත තොරතුරු හුවමාරුවේදී ඇය අතිශය නොසැලකිලිමත් බවක් පෙන්වා ඇති බව FBI අධ්යක්ෂ ජේම්ස් කොමෙයි පවසයි.
FBI ආයතනයේ එම තීරණය හිටපු රාජ්‍ය ලේකම්වරිය වෙත නඩු පැවරීමේ අවදානම අවසන් කරමින්, ඇගේ ජනධිපතිවරණ දේශපාලන ව්‍යාපාරයට අස්වැසිල්ලක් එක්කර තිබුණද, FBI අධ්යක්ෂවරයා ක්ලින්ටන් මෙන්ම ඇගේ කාර්ය මණ්ඩලය දැඩි විවේචනයකට බඳුන් කළේය.
රාජ්‍ය ලේකම් ක්ලින්ටන් හෝ ඇගේ සේවකයන් අතිශය රහස්‍ය තොරුතුරු හැසිරවීමේදී යම් හිතාමතා වරදක් සිදුකළේ දැයි යන්න පිළිබඳ තමන්ට පැහැදිලි සාක්ෂියක් නොලැබුණත්, අතිශය සංවේදී, අතිශය රහස්‍ය තොරතුරු හැසිරවීමේදී ඔවුන් නොසැලකිලිමත් වී ඇති බවට සාක්ෂි පවතින බව FBI. අධ්යක්ෂවරයා එහිදී වැඩිදුරටත් පවසා සිටියේය.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු රාජ්‍ය ලේකම්වරිය පවසා තිබුණේ, ජංගම දුරකථන කිහිපයක් හෝ ටැබ්ලට් කිහිපයක් පාවිච්චි කිරීමකින් තොරව තමන්ට එක් උපාංගයකින් සියලු ඊමේල් පරීක්ෂා කිරීමට මෙසේ පෞද්ගලික ඊමේල් ගිණුමක් සකසා ගත් බවයි.
එමෙන්ම, තමන් දැනුම්වත්ව කිසිදු ආකාරයක රහසිගත තොරතුරක් එම ගිණුම හරහා හුවමාරු නොකළ බව මීට පෙර ක්ලින්ටන් පවසා තිබුණි.
කෙසේ වෙතත්, FBI ආයතනය සිදුකළ පරීක්ෂණයේදී ඇය විසින් අතිශය සංවේදී හා රහසිගත ඊමේල් පණිවුඩ 100ක් පමණ එවකට සිය පෞද්ගලික ඉමේල් ගිණුම් හරහා යවා ඇති බව අනාවරණය වී තිබුණි.
FBI ආයතනයේ එම නිවේදනයත් සමග ට්විටර් පණිවුඩයක් නිකුත්කළ ඇමෙරිකානු ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබුණේ, "වංචනික හිලරි අපේ ජාතික ආරක්ෂාව අනතුරේ හෙළා ඇති බව FBI අධ්යක්ෂවරයා කියනවා... හැබැයි දඬුවම් නැහැ.... මාරයි..." යනුවෙනි.