දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳ සැලක සේවය කළ තරුණයෙකු පැහැරගෙන ගොස් පහරදී සාපරාධී ලෙස බියගන්වන ලද බවට පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට සහ ඇගේ ආරක්ෂකයන් හා ආධාරකරුවන් බව කියන අට දෙනෙකුට එරෙහිව නීතීපතිවරයා විසින් කොළඹ මහාධිකරණයේ නඩු පවරන ලදී.
සිද්ධිය වී මාස හතක් වැනි කාලයක් තුළ චෝදනා 29 ක් යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා ඇති අතර, එම නඩුව සනාථ කිරීම සඳහා කුඩා දැරියක ඇතුළු සාක්ෂිකරුවන් දසදෙනෙකු මෙන්ම ලේඛන කිහිපයක්ද ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද නීතීපතිවරයා විසින් දැනුම් දී ඇත.
2015 වසරේ දෙසැම්බර් මස 21 වැනිදා හෝ ඊට ආසන්න දිනයක දෙමටගොඩදී අමිල ප්‍රියංග අමරසිංහ නමැත්තා අයුතු ලෙස සිරකිරීමේ අදහසින් පැහැරගැනීමට කුමන්ත්‍රණය කිරීම, අමරසිංහ නමැත්තා අයුතු ලෙස සිරකිරීම පොදු අරමුණ කරගත් නීතීවිරෝධී රැස්වීමක සාමාජිකයන් ලෙස කටයුතු කිරීම, එලෙස කටයුතු කරමින් ඔහු පැහැරගෙන යාම, ඒ සඳහා ආධාර අනුබල දීම, සාපරාධී බලහත්කාරය පෑම, අඩත්තේට්ටම් කිරීම, සාපරාධී ලෙස බියගැන්වීම ඇතුළු චෝදනා 29 ක් යටතේ නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට අමතරව මෙලෙස නඩු පවරා ඇත්තේ ඇගේ ආරක්ෂකයන් හා ආධාරකරුවන් බව කියන පී.ඩබ්. කැලුම් නිරංජන, මලින්ද ජයතිලක, ආර්.ඒ. කසුන් සම්පත්, ඉන්දික රුවන් පුෂ්පකුමාර ද සොයිසා, මයිකල් ඇන්තනි ජොන්සන්, සංජීව අබේසිරිවර්ධන, නියාස් මොහොමඩ් රිස්වාන් සහ ජෙගනාදන් ඇන්තනි යන අට දෙනාට එරෙහිවය.