යුද්ධයෙන් පසුව පුනරුත්ථාපනය වූ කොටි සාමාජිකයන්ට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ හෝ වෙනත් රාජ්‍ය ආයතනයක රැකියා අවස්ථා ලබාදෙන ලෙස ඉල්ලා ඊයේ (02දා) කිලිනොච්චිය ඉරණමඩුහි පිහිටි සිවිල් ආරක්ෂක කඳවුර ඉදිරිපිට පුනරුත්ථාපනය වූ කොටි සාමාජිකයන් හා ඔවුන්ගේ දූ දරුවන් මෙන්ම ඥාතීහු පිරිසක් විරෝධතාවක නිරත වූහ.
රජය විසින් තමන් අත්අඩංගුවට ගෙන පුනරුත්ථාපනය කොට සමාජගත කොට වසර ගණනක් ගෙවී ගොස් ඇති නමුත් තවමත් තමන්ට ස්ථීර රැකියාවක් නැතැයිද ඒ හේතුවෙන් තම ආර්ථිකය දැඩි ලෙස කඩා වැටීමකට ලක්ව ඇතැයිද හිටපු එල්.ටී.ටී.ඊ. සමාජිකයෝ පැවසූහ.
ස්වයංරැකියාවක් හෝ ආරම්භ කිරීමට අවශ්‍ය මුදල් එක් රැස්කිරීම වෙනුවෙන් රාජ්‍ය හෝ රාජ්‍ය නොවන බැංකු වෙතට ගිය විට තමන්ට ණය දීම ද ප්‍රතික්ෂේප කොට ඇති බවත් ආබාධිතයන් වෙනුවෙන් ලබාදෙන දීමනාවද බොහෝ සෙයින් රජය විසින් කපාහැර දමා ඇතැයිද විරෝධතාකරුවෝ කියා සිටියහ.