හමුවූ සුන්බුන් MH370වේ නොවේ - අභිරහස තවදුරටත්
ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවරට දකුණින් වූ වෙරළ තීරයට ගෙඩගසා ඇති සුන්බුන් අතුරුදන් MH370 යානයේ කොටස් නොවන බව තහවුරු වී ඇති බව බලධාරීහු පවසති.
ඔස්ට්‍රේලියානු ප්‍රවාහන ආරක්ෂණ කාර්යාංශය සුන්බුන්වල ඡායාරූප පරීක්ෂා කිරීමෙන් අනතුරව ඒවා අතුරුදන් යානයේ සුන්බුන් නොවන බව තහවුරු කර තිබේ.
එම සුන්බුන් කොටස් පර්ත් නගරයට කිලෝමීටර් 300ක් දකුණින් වූ ඔගස්ටා නගරයේදී හමුවී තිබේ. ඒ අතර මීටර් 2.5ක ප්‍රමාණයේ වානේ කොටස් තිබූ බවද කියවුණි.
ඒ අනුව, යානයේ අතුරුදන් වීම තවදුටත් අභිරහසක්ව පවතින අතර, ඒ සම්බන්ධයෙන් මැලේසියාව වෙනමම විශේෂ පරීක්ෂණයක් සිදුකරමින් සිටියි. මේ අතර ඔස්ට්‍රේලියාවේ මූලිකත්වයෙන් දකුණුදිග ඉන්දීය සාගර කලාපයේ සිදුවන සෝදිසි මෙහෙයුම් තවදුරටත් සිදුවෙයි.
පසුගිය දින දෙකේදී පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සෝදිසි මෙහෙයුම් සඳහා ගුවන් යානා යොදා නොගැනුණු බවද කියවුණි.
එමෙන්ම, ඇමෙරිකානු නාවික හමුදාවේ මිනිසුන් රහිත සබ්මැරීනයක් යොදා ගනිමින් සාගර පතුලේ සිදුකරන නිරීක්ෂණයන් 80%ක් මේ වනවිට අවසන් වුවත් යානය පිළිබඳ කිසිදු හෝඩුවාවක් හමු නොවීය.
මේ වනවිටත් හමුදා ගුවන්යානා 10ක්, නෞකා 12ක් MH370 සෝදිසි මෙහෙයුම්වල නිරත වන අතර, මේ වෙනුවෙන් රටවල් රැසක් සිය දායකත්වය විවිධ අයුරින් දක්වා තිබේ.
MH370 සෝදිසි මෙහෙයුම ඉතිහාසයේ විශාලතම පිරිවැයක් දැරූ සෝදිසි මෙහෙයුම බවට මේ වනවිටත් පත්ව ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
